ගුවන් විදුලි ක්‍රිකට් ඉතිහාසයේ සිංහල
ක්‍රිකට් විස්තර ප්රචාරයේ සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පසුගියදා
නිමාවූ ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයට සැමගේ අවධානය යොමු විණ. හරියටම
1963 මාර්තු මස දී පළමුවෙන්ම දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ
ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරා 84 වෙනි ආනන්ද,
නාලන්ද මහා තරගයේදී සිය පනස් වසරක
අඛණ්ඩ කාර්යභාරය සම්පූර්ණ කළේ විස්තර කථනයෙන් සජීවීව සම්බන්ධ වීමෙනි. සජීවී
ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයට ලාංකික හඬ එකතු කරන්නට ඔහුට හැකි වීම
අප සැම ලැබූ භාග්‍යයකි. ඒ දක්වා කරුණාරත්න අබේසේකරයන් විසින් ආනන්ද නාලන්ද
මහා තරගයේ අවසන් දිනයේ විනාඩි 45ක කාලයක් සජීවී ප්‍රචාරය ලබා දී තිබුණි.
1960-1962 වර්ෂවල නාලන්ද පළමු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ පාලිත
පළමුවෙන්ම සජීවී ප්‍රචාරයක් ගෙන එන්නේ 1963 දී කොළඹ ඕවල් ක්‍රීඩාංගණයේ සිට
ආනන්ද නාලන්ද තරගයකදීමය. ආනන්ද විදුහලේ ගණිත ගුරුවරයෙකු වූ රගුනාත්
වීරසිංහ මහත්මා ඔහුගේ අනෙක් සිංහල නිවේදකයා විය. එම තරගයේ ආනන්ද විදුහලේ
නායකත්වය දැරුවේ අශෝක පෙරේරාය. නාලන්දයේ නායකයා වූයේ සරත් විමලරත්නය.
එතෙක් කල් ගුවන් විදුලියෙන් ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රිකට් ඇසූ ලාංකිකයන්ට නවමු සිංහල වදන් සමගින් ඔහු කළ වික්‍රමය මහත් සතුටක් ගෙන දුන්නේය. 1963 වසරේ එදා එම පළමු විස්තර ප්රචාරයට සවන් දුන් අය අතර “ලක්බිම” ප්‍රධාන කර්තෘ වන සුන්දර නිහතමානි ද මැල් මහතා වෙයි. එතුමා තම 8 වසරේ ඉගෙනුම ලබන අයියා සමග එය අසද්දී පුදුමයට පත් වූ බවත්, 5 වසරේ ඉගෙනුම් ලබමින් සිටි ඔහු එය ඇසුවේ පිලිප්ස් වර්ගයේ වෑල්ව් රේඩියෝවකින් බවත් පසුගිය සතියේ ඉරිදා ලක්බිම කතු වැකියේ සඳහන් කර තිබුණි.
එදා 1963 ඕවල් ක්‍රීඩාංගණයේ දර්ශන තිරය පසෙකින් පකිස් පෙට්ටියක් මත පුටුවක් තබාගෙන පාලිත විසින් කථනය කරද්දී අව් රශ්මියෙන් වැළකීමට කුඩය ඔසවාගෙන සිටියේ නිවේදක රගුනාත්ය. ඉන්පසු රගුනාත්ට සෙවණ දුන්නේ පාලිත ඔසවාගෙන සිටි කුඩයයි. දෙමළ හෝ ඉංග්‍රීසි නිවේදන නොතිබුණු අතර පුරා දෙදිනක් පැය 12ක කාලයක් ඔවුන් දෙදෙනා නොකඩවා තරගය පිළිබඳ සජීවි ප්‍රචාරය ගෙන ගියේ අද මෙන් විශේෂ වායුසමීකරණ කුටි හෝ වේදිකාවක් හෝ නොමැතිවය.
එම ක්‍රීඩා විචාරයට වසර 9ක් සම්පූර්ණ වෙද්දී ගුවන් විදුලි ක්‍රිකට් විස්තර විචාරයට ප්‍රේමසර ඈපාසිංහ යන වටිනා නිවේදකයා 1972 සම්බන්ධ වන්නේ රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේදී පාලිත සමගිනි. මොවුන් දෙදෙනා යටතේ මේ වන විටදී බිහිවී ඇති දක්ෂ නිවේදකයින් බොහෝ දෙනෙක් අද ලාංකිකයන්ගේ සවනට නිරතුරුවම සජීවී ක්‍රිකට් ප්‍රචාරයන් ගෙන එති.
ගම්බද ප්‍රදේශයකදී පාලිත දකින වැට මායිමේ ඇති දර්ශනය සමගින් “කඩුල්ල” යන වචනය සිංහල ක්‍රිකට් විස්තර විචාරයට එකතු කරද්දී තවත් වචන ගණනාවක් සජීවී ප්රචාරයට ගෙන එන්නේ ලාංකික අනන්‍යතාවයක් ක්‍රිකට් භාෂාවට එකතු කරමින්ය. එයින් ලද ජීවය දේශීය අසන්නන්ට ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් සමීප කරලීය. ගමෙන් නගරයට ක්‍රිකට් ගෙන යන්නට ඔවුන් කළ මෙහෙය වැදගත්ය.
කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අට්ටාලයක හිඳ හේනේ අට්ටාලයට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යන්නට ගුවන් තරංගවලට තම හඬ මුසු කළේ හෙළ ජන සාහිත්‍යයේ අපූරු සුන්දර වැකි යොදා ගනිමිනි. අද මෙන් රූපවාහිනිය වටා රොක් වී අනවශ්‍ය ලෙස කාලය නොගෙවූ ක්‍රීඩාලෝලීන් විස්තර ප්‍රචාරද අසමින් තම ෙදෙනික කටයුතුවල නිරත වූහ.
කිසිදු දිනක ක්‍රිකට් ක්‍රීඩා පිටිය නොදුටු ඈත පිටිසර ගැමි ජනතාවගේ හදවත් තුළ “ක්‍රිකට් පිටියක් තැනීමට” ඔහුට හැකි වූයේ සරල සුගම වචන සමග දේශීයත්වයේ හඬ අව්‍යාජව, ගුවන් තරංග තුළ මුසුකළ බැවිනි. ඔහුගේ භාෂා දැනුම, උගත්කම තුළ ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයකු ලෙස ගමන් කිරීමට තිබූ අවස්ථාවද ලාංකික අප වෙනුවෙන් කැප කළ බව සිතේ.
ක්‍රිකට්වලින් නොනැවතුන ගුවන් විදුලිය, එල්ලේ, වොලිබෝල්, මෙන්ම සෑම ක්‍රීඩා ඉසව්වකටම තම සජීවීකරණ හඬ එකතු කරන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට සමීප වෙමින්ය. වෙල්යායක හෝ ක්‍රීඩාංගණයක අඩි 15 පමණ උසට තට්ටු 02කින් පමණ තැනූ ලී අට්ටාලයේ සිට ගුවන් විදුලි තරංග ඔබ නිවසට පා කර එවීමට ඔවුන් වෙහෙස විය.
විදේශීය තරග සංචාරයන් හිදී ද ශ්‍රී ලාංකික දස්කම් අප වෙතට ගෙන ඒමට කළ සේවයට අප සැමගේ කෘතගුණතාවය ඔවුනට හිමි විය යුතුය. 1980 දශකයට පෙර ගුවන් විදුලිය නොවන්නට එවන් දසුන් සජීවීව මවන්නට වෙනත් මාධ්‍යයක් නොමැති විය. ගුණාත්මක කථනයන් උදෙසා ඔවුන් දැරු වෙහෙස කතෛක්ද, යත් ආකර්ෂණීය ගුවන් විදුලි හඬ රූපවාහිනියේ දසුන් සමග නැරඹීමට ප්‍රේක්ෂකයින් අද ද පුරුදු වී සිටින්නෝය.
මා මේ වටිනා කාර්යභාරයේ නියමුවා වූ අදටත් ක්‍රිකට් සමග සජීවීව සම්බන්ධ පාලිත පෙරේරා සොයා එස්.එස්.සීයට පිය නැගුවේ ඔහුගේ සුවිශේෂී කාර්යභාරයේ සටහන් ඔබ වෙත රැගෙන ඒමටය. මියුසියස් විදුහලේ ගුරුතුමියක් වූ දයාබර බිරිඳ ලීලා පෙරේරා මහත්මිය සමග පිටියට පැමිණ සිටියදී පාලිත පෙරේරා හමුවීම සුවිශේෂී විය.
නාලන්දාවේ නලින් අපොන්සුගේ ආරාධනයෙන්, පාලිතයන් සමග මා අට්ටාලයට පිය නැගුවෙමි. ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයේ ආනන්දයේ පළමු ඉනිමේ ජයග්‍රහණය සටහන් කරමින් පන්දුවෙන් පන්දුවට විස්තර සජීවීව ගෙන එමින් මේ ඔහු සටහන් කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ 50 වසරක සිංහල ක්‍රිකට් විස්තර විචාරයේ කඩඉමයි. වසර 70 වන ඔහුගේ දිවියේ 50 වසරක නොනිමි මෙහෙවර ක්‍රීඩාලෝලීන් සතුටින් ගුවනින් අසද්දී ඓතිහාසික අවස්ථාවට එකතු වන්නේ ගුවන් විදුලියේ කැලුම් විජේසිංහ, ඕවිරි කුරුප්පු මෙන්ම පාලිත පෙරේරාම බිහි කළ නාලන්දයේ නලින් අපොන්සුය.
නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙස මා ද අයි.ටී.එන්. හි වීඩියෝ ශිල්පියාද ලබාගත් දසුන් අද ඔබ අප සැමගේම වටිනා සිහිවටනයන්ය. වසර 08 පමණ කුඩා ශිෂ්‍යයකු ලෙස ඔහුගේ ක්‍රීඩා විචාරය ඇසූ පළමු කාලයේ සිට අද දක්වා නොනැවතී එක ලෙස ගලා යන අව්‍යාජ ස්වරය සහ ජීවය මැදි වයසේ දී ඔහු ළඟටම වී ඇසීමට මා පිං ලදිමි. මා 4 වසර ශිෂ්‍යයෙකුව සිටියදී පළමුවෙන් ක්‍රිකට් තරග ඇසුවේ රේඩියෝව සෙල්ලම් ගෙදර තුළ තබාගෙනය. ගසක අට්ටාලයක් තනා ඒ තුළට රේඩියෝව රැගෙන ගොස් ඇසුවේ අම්මාගෙන් බැණුම් අසමිනි.
නෙතඟ වෑහෙන සතුටු කඳුළු සමග ඔහුගේ වචන එක දිගට ආයාසයකින් තොරව ගලා යයි. පාලිතගේ ආරක්ෂණීය වදන් මාලාවේ හඬ ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට සැමදා අවැසි විය. ඔහුට ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද එක ලෙස ඇළුම් කළහ. පර්සි අබේසේකරත්, පාලිත පෙරේරාත් තරගයකදී මෑතකදී හමු වූ විටදී මා ඇසුයේ ඔබලා මෙතරම් තරුණ ලෙස ජීවත් වන්නේ කෙලෙසද යන්නයි. “සිතිවිලි යහපත් නම් නිරෝගී නම් ජීවිතය ලස්සනයි”
පාලිතගේ පිළිතුර විය. සිතුණ දෙය අපට දුන් සැම විටම නොබියව පෑන හැසිරවූ ඔහුගෙන් විවිධ වූ ක්ෂේත්රයන් පෝෂණය විය.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාපිටියේ 2013 මාර්තු 03 දින තේ පානයෙන් පසුව, අප ආදරය දිනූ පාලිත පෙරේරා සිය 50 වසරක ක්‍රිකට් මතක සටහන් අවදි කරමින් සාරාංශ ගත කරන ලද ගුවන් විදුලියේ සජීවී ප්රචාරක ඉතිහාසයට සවන් දුන් සැවොම, ගුවන් විදුලියේ සැම කළ සේවයට නිහඬව ගෞරවය පුද කරනු නොඅනුමානය. පාලිතයන්ගේ අඩසියවසක දැවැන්ත මාධ්‍ය මෙහෙවර අගය කරමින් ආනන්ද-නාලන්ද ඒකාබද්ධ කමිටුව සජීවී ක්‍රිකට් විස්තර ප්‍රචාරයක් සඳහා ඔහුට ආරාධනය කිරීම පිළිබඳ සැමගේ ස්තූතිය ඔවුනට හිමිවිය යුතුය. නොසිතූ ලෙස තරගය තේ පානයෙන් පසු නතර කරනු ලැබූවත් එයට පෙර මාධ්‍ය දිවියේ වඩාත් ආදරය කළ සජීවි ක්‍රිකට් ප්‍රචාරය අප වෙනුවෙන් ගෙන ඒමට ස්වභාවධර්මය ඔහුට ආශීර්වාද කළේය. පුරා වසර 50ක් අඛණ්ඩව ක්‍රිකට් සිංහලෙන් ගෙන එන්නට ඔහු කළ කැපවීම පිළිබඳ සමස්ත ක්‍රීඩාලෝලීන් තුළ ඇත්තේ අපමණ ගෞරවයකි. දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන ඔහු අද ද මාධ්‍යකරණයේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැප වෙයි. සංවේදී හදවතක් හිමි මානව දයාවෙන් පිරිපුන්, නිහතමානී කලාකරුවෙකු ඔහු තුළින් බිහිවීමට ඉඩ හසර හෙළිකළ ලක් මවට ඔහු පෙරළා යුතුකම් ඉටුකර හමාරය. අද දින මාධ්‍යකරණයේ යෙදෙන අප සැමට ඔහු වැනි ගුරුවරයෙකුගෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝය.
“මේ දක්වා මාගේ 50 වසරක සජීවි ක්‍රිකට් ප්රචාරයේදී මා හා එක්වුණු ශ්‍රී ලංකාවේ සතර දිසාවේ ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ වෑල්ව් හෝ ට්‍රාන්සිස්ටර් රේඩියෝවක තුළින් මගේ හඬ ඇසුවා නම්, මට ආදරය කළා නම් එයට මා ණයගැතියි. ඔබ සියලුම දෙනාට ස්තූතියි” කියමින් එදා මෙදා තුර සහය දුන් සමස්ත ගුවන් විදුලි කාර්ය මණ්ඩලයට ද ස්තූති කරමින් සතුටු කඳුළු පිරි දෙනෙතින් පාලිත පෙරේරා ක්‍රීඩා අට්ටාලයෙන් නික්මිණි.
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ යුග මෙහෙවර අගය කරමින් පාලිත පෙරේරා ඇතුළු සමස්ත නිවේදකයින්ට ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රණාමය පුද කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්රයට පාලිත පෙරේරා කළ කැපවීම තුළින් ඔහු ලද ආදරය, ඉතිහාසයේ නොමැකී පවතින නිහඬ උපහාරයක් වනු ඇත.
0 comments:
Post a Comment