Photobucket

Friday, February 22, 2013

ජාතික වේග පන්දු පුහුණුකරු තනතුරට වාස්‌ කැඳවයි

ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇත.

චමින්ද වාස්‌ට අදාළ තනතුර පිරිනැමීම ස්‌ථිර කිරීම සඳහා ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ වේග පන්දු ක්‍රීඩකයන්ගේ ප්‍රවණතා අඩාල වෙමින් පවතින බවට ඒත්තු ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය, වත්මන් වේගපන්දු පුහුණුකාර චම්පික රාමනායක වෙනුවට ආදේශකයකු සොයමින් සිටියදී චමින්ද වාස්‌ කෙරෙහි සැලකිල්ල යොමු විය.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ චමින්ද වාස්‌ අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුණද, අවසන් ප්‍රතිඵලයක්‌ නොලැබුණු හෙයින් චමින්ද වාස්‌ට නවසීලන්තය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රවලින් ලැබී තිබූ ආරාධනා කෙරෙහි සැලකිලිමත් වීමට පෙළැඹුණු අතර, ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් අදාළ යෝජනා ක්‍රියාත්මක සාකච්ඡා ඇරඹීමට හෙතෙම සූදානම්ව සිටියේය.

zශ්‍රී ලංකා ක්‍රිකට්‌ තවමත් නිහඩයි - වාස්‌ එතෙර යන සූදානමක්‌Z යන මැයෙන් දිවයින විසින් ඊයේ (20/2/13 මේ බව අනාවරණය කරන ලදී.

වත්මන් තත්ත්වය පිළිබඳ චමින්ද වාස්‌ගෙන් කරුණු විමසන ලදුව, "ඒ සාකච්ඡා අවසන් වුණා. සාර්ථකයි. මම කැමැත්ත දුන්නා." යි පැවැසූ අතර, zකවුරුන් හරි දේශපාලන හෝ ක්‍රීඩා සමාජ හෝ වෙනයම් හෝ කිසිදු බලපෑමක්‌ කළොත් මම මේක අතහැර දමනවා" යිද අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම, "මේ තනතුර අවුරුදු දෙකකට විය යුතුයි. පාසල් ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ගේ තත්ත්වය දියුණු කිරීම සඳහා මගේ විශේෂ සැලැස්‌මක්‌ තියෙනවා." යි ද පැවසීය.

යෝජිත පුහුණු කටයුතු ක්‍රියාත්මක කරන අතරතුර, නවසීලන්තයෙන් හෝ ඉන්දියාවෙන් හෝ බටහිර ඉන්දීය කොදෙව්වෙන් හෝ වැඩි මුදලකට කොන්ත්‍රාත්තුවක්‌ යෝජනා කළහොත් තමා එය භාර ගන්නේදැයි විමසූ විට "කොහෙත්ම නැහැ. මට ලොකු උනන්දුවක්‌ තිබුණා මෙම තනතුර ගැන. මම ක්‍රිකට්‌ ඉගෙන ගත්තේ ඒ රටවලින් නෙවෙයි. ලංකාවෙන්. මේක වෘත්තියක්‌ වුනත්, සේවයක්‌ වශයෙන්ද සලකන්න පුළුවන්." යි චමින්ද වාස්‌ පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all