Photobucket

Friday, February 22, 2013

නයි පොළඟුන් සමඟ දිවි ගෙවන රාජගිරියේ විස වෛද්‍යවරයා

නයි නළඟන, සතුන් වත්තෙන් නයින් පලායාම් ආදි ලෙසින් නයින්, සර්පයින් සම්බන්ධ ප්‍රවෘත්ති පසුගිය දිනවල රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

 බොහෝ ප්‍රදේශ නාගරීකරණයට ලක්වීමත් සමඟ සර්පයන්ද ක්‍රමයෙන් ජන ජීවිතය සමඟ තිබූ සම්බන්ධයෙන් ඈත් වූ අතර, මිනිසුන්ට එසේ අමතකව ගොස් තිබූ සර්පයින් යළිත් කරළියට පැමිණුනේ මෙකී ප්‍රවෘත්ති නිසාවෙන්ය.

නයි නළඟන හා සම්බන්ධ පුවතින් කියැවුණේ කාන්තාවක් ගැන වුවද මේ පුවතින් කියැවෙන්නේ අපූරු මිනිසෙක් පිළිබඳවය. ඔහු නයින් පමණක් නොව පොළඟුන්, මාපිලුන්, කරවලයන් ආදී විෂඝෝර සර්පයන් රැසක් සමඟ තම ජීවිත කාලය ගෙවා දමන්නෙකි.

රාජගිරිය මාදින්නාගොඩ, පදිංචි ඔහු නමින් ඒ. පී. ඒ. අබේරත්නයි. වසර 50ක පමණ කාලයක් තිස්සේ සර්පයන්ද පිරිචරාගෙන, ගමින් ගමට, නගරයෙන් නගරයට යන මොහු එම සර්පයන් පිළිබඳවත්, උන්ගේ උග්‍ර විෂ පිළිබඳවත්, එම විෂ සඳහා කළ යුතු ප්‍රතිකාර පිළිබඳවත් ජනතාව දැනුවත් කරමින්, දේශන පවත්වමින්, අප්‍රසිද්ධියේ, නිහඬව සිදු කරනු ලබන සමාජ සේවය සැබවින්ම අගය කළ යුතුය.

මෙම කාර්යය කිරීමෙන් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් හෝ වෙනයම් වාසියක් බලාපොරොත්තු නොවන බව පවසන අබේරත්න මහතා, හුදෙක් තමන් සතු දැනුම ලක්‍ෂ සංඛ්‍යාත මහ ජනකායක් අතර බෙදා දීමෙන් හදවතින්ම අවංකවම සතුටක් විඳීම පමණක් බලාපොරොත්තු වන බව පවසයි.

ඔහුගේ ඇඳුමේ සාක්කුවට අත යැවුවහොත් එතුළ විෂඝෝර කුණකටුවෙකි. දෝත මත අරා සිටින්නේ සුදු නාගයෙකි. ගෙල වටා මුතු මාලයක් සේ දමාගත් තෙල් කරවලෙකි. මෙලෙස සර්වාංගයම සර්පයින්ගෙන් සරසාගෙන සිටින අබේරත්න මහතා, තෙලිජ්ජවිල වෙද පරපුරෙන් වෛද්‍ය කර්මය හැදෑරූ, රජයේ ලියාපදිංචි දක්‍ෂ පාරම්පරික විස වෛද්‍යවරයෙකි.

දැනට ලංකාවේ සිටින සර්පයින්ගෙන් වර්ග 96ක් මේ වන විට තමා හඳුනාගෙන ඇති බවත්, දෙහිවල සතුන් වත්තේ හැරුණු විට ලංකාවේ සුදු නාගයකු සිටින්නේ තමා ළඟ පමණක් බවත් අබේරත්න මහතා පවසයි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all