Photobucket

Friday, February 22, 2013

සුව සම්පත සෝදිසියට වෛද්‍යවරුන් අටක්

ජාතික ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය කටයුතු හා පෝෂණ තත්ත්වය සොයා බැලීමට වෛද්‍යවරු 8ක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කොට ඇත.

පසුගිය කාලයේ ජාතික ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ කටයුතු සොයා බැලීම ක්‍රමවත්ව නොවු හෙයින් පත්කළ වෛද්‍යවරු මාසිකව ක්‍රීඩා ඇමැතිවරයා වෙත විශේෂ වාර්තාවක් ලබාදිය යුතු බවද දන්වා ඇත. ක්‍රීඩා අමාත්‍යංශය සෑම මාසයකම පවත්වන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ කරුණු සමාලෝචනය කිරීමටද නියමිතය.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී මාහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ උපදෙස් අනුව ජාතික ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ ආහාර වට්ටෝරුවක් නියම කොට ඇත. එම තීරණ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යංශයේ වෙනම නිලධාරියෙකු පත් කිරීමටද ඇමැතිවරයාගේ අවධානය යොමුව පවතී. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය හා ‍පෝෂණය යහපත් මට්ටමින් පවත්වාගෙන යෑම ක්‍රීඩා සංචිත භාරව සිටින නිලධාරීන්ගේ හා අදාල ක්‍රීඩා සංගමයේද වගකීම බව පෙන්වා දී ඇත.

නව දිල්ලි සාග් ක්‍රීඩා උලෙළ ඉලක්ක කොට බිහිවු සංචිතවලට අදාල වෛද්‍යවරු ඉදිරියේදී ද ඒ ආකාරයෙන්ම ක්‍රියා කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යංශය දැනුම් දී තිබේ.

ඒ අනුව මලල ක්‍රීඩා, පාපන්දු සංචිත භාරව වෛද්‍ය ලාල් ඒකනායක, බැඩ්මින්ටන් හා බාස්කට්බෝල් සංචිත භාරව වෛද්‍ය ධම්මික ඒකනායක, ජුඩෝ සහ පිහිනුම් සංචිත භාරව වෛද්‍ය කිත්සිරි පෙරේරා, පාපැදි, හොකී හා මල්ලවපොර සංචිත භාරව වෛද්‍ය සුලෝචන කාරියවසම්, ස්කොෂ් හා වෙඩි තැබීමේ සංචිත භාරව වෛද්‍ය සීවලී ජයවික්‍රම යන මහත්වරුන් කටයුතු කරති. දුනු විදීමේ සංචිතය වෛද්‍ය ශිරෝමී පිලපිටිය මහත්මියට භාරදී ඇත.

සියලු සංචිතවල ක්‍රීඩක ක්‍රීඩකාවන්ට තහනම් උත්තේජන භාවිතය පිළිබඳ විශේෂ දැනුවත්කමක් ලබාදීමට පියවර ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වෛද්‍යවරයෙකු නම් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසුගිය සතියේ නියෝගයක් ලබාදුන්නද ක්‍රිකට් ආයතනය තවමත් ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් මේ පිළිබඳව කර නැතැයිද දැනගන්නට ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all