Photobucket

Friday, February 22, 2013

කළුතර පුංචි ගඟ අවහිර වෙලා:

උතුරු කළුතර කැලිඩෝ වෙරළ තීරයට හා කළු ගං කළපුවට ආසන්නව පිහිටි කඩොලාන පාරිසරික පද්ධතිය ඒ හා සම්බන්ධ පුංචි ගඟ අවහිර වීමෙන් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කැලිඩෝ වෙරළ තීරයට සමගාමීව පිහිටා ඇති මෙම කඩොලාන ප්‍රදේශයත් එහි ඇති ස්වභාවික සෞන්දර්යාත්මක වටිනාකමත් විනාශවී යා නොදී ආරක්‍ෂා කර ගැනීම බලධාරීන්ගේ වගකීම බවද ඔව්හු පෙන්වා දෙති.

පුංචි ගඟ කේන්ද්‍ර කර ගනිමින් ගඟ දෙපස විහිද ඇති මෙම කඩොලාන ශාඛ ප්‍රජාව වෙනත් ස්ථානවල දැකිය හැකි කඩොලාන ප්‍රජාවට වඩා සුවිශේෂි බවක් උසුලනු ලබයි. ගංගා දූපතේ පිහිටි ගංගාරාම විහාරස්ථානයට සම්බන්ධ පාරිසරික කේන්ද්‍රස්ථානයට පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් බහුල ලෙස පැමිණෙන්නේ ඒ නිසාය.
මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් පුංචි ගඟ මේ වනවිට පවතින්නේ අතිශයින් කනගාටුදායක තත්ත්වයකය. මේ පිළිබඳ අදහස් දැක්වූ ෂෙල්ටන් ෆොන්සේකා මෙසේ කීය. මේ ගඟ ධීවර කටයුතු සාර්ථකව කරන්න උදව් වුණු ගඟක්. ධීවර ඔරු බෝට්ටු පවා මේ ගඟ හරහා එහා මෙහා ගියා. 

අද වන කොට ගඟ මැදින් හිරවෙලා. සමහර තැන් ගොඩවෙලා. වතුර රැඳිලා තියෙනවා. මේ තත්ත්වය කඩොලානවලටත් බලපානවා.” අතීතයේ ධීවර කර්මාන්තය ද සාර්ථකව සිදුවුණ මෙම ගංගාව මේ වනවිට ස්ථාන කිහිපයකදීම වන වැදී ඇත.

ඇතැම් ස්ථානවල ජලය බැස නොයෑම නිසා මදුරු උවදුරත්, අධික දුර්ගන්ධයකුත් ඇති බව ප්‍රදේශවාසීහු කියති. සුන්දරත්වයෙන් හා පාරිසරික වටිනාකමකින් යුත් මෙම ගංගාව ආශ්‍රිත පාරිසරික පද්ධතිය රැක ගැනීම උදෙසා බලධාරීන්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත්ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all