Photobucket

Friday, February 22, 2013

නීතියට පිටින් ඔස්ට්‍රේලියාවට යන්න හැදූ 28ක් අත්අඩංගුවට

මිරිස්ස ධීවර වරායට ආසන්න මුහුදු තීරයේ දී ඕස්ට්‍රේලියාව බලා යාමට තැත් කළ බව කියන නීති විරෝධී සංක්‍රමිකයන් විසි අට දෙනකු (28) සමඟ ධීවර යාත්‍රාවක් හා වෑන් රථ දෙකක්  (21) අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලිසිය පැවසීය. මේ පිරිස අතරින් විසි දෙදෙනෙකු (22) පිරිමි අය වන අතර කාන්තාවන් සිව් දෙනෙකුද අවුරුදු 7 හා 9 වයසේ පාසල් සිසුන් දෙදෙනකුද වන බව පොලිසිය කීය. මොවුන් අතරින් විසි හයක් ද්‍රවිඩ ජාතිකයන් වන අතර දෙදෙනෙක් සිංහල ජාතිකයන් වෙති. මොවුන් යාපනය , මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

එකම පවුලේ සාමාජිකයන් හත් දෙනකු සහ තවත් පවුලක සාමාජිකයන් සිව් දෙනකු මේ කණ්ඩායමට අයත් වන බවද පොලිසිය සඳහන් කළේ ය. ඕස්ට්‍රේලියාවේ දී මසකට රුපියල් ලක්ෂ දහයක වැටුප් ලබාගත හැකි රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ජාවාරම්කරුවන් දෙදෙනකු මොවුන් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට කැඳවාගෙන පැමිණ ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

අංක 56 - 5502 හා 62 - 6415 දරන වෑන් රථ දෙකින් මොවුන් මිරිස්ස ප්‍රදේශයට කැඳවාගෙන පැමිණ ඇති අතර එම වෑන් රථ දෙක හා ඒවා නතර කර තිබූ නිවසේ හිමිකාරිය ද සංක්‍රමිකයන් පලා යාමට තැත් කළ යාත්‍රාව සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාලි ප්‍රශාන්ත මහතා ප්‍රමුඛ නිලධාරි පිරිසක් මේ වැටලීම සිදු කර එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all