Photobucket

Friday, February 22, 2013

ශ්‍රී ලංකා-කොදෙව් කාන්තා ක්‍රිකට්‌ තරගාවලිය අද දඹුල්ලෙන් ඇරඹෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගය (22 දා) රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පෙ.ව. 9.30 ට ආරම්භ වේ.

ඉන්දියාවේදී අවසන් වුණු කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අනුශූරතාව දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම එම තරගාවලිය අවසන් වීමත් සමග මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමද විශේෂත්වයක්‌ වේ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම වෙතින් දැවැන්ත තරග පරාජයක්‌ ලැබීය.

අදාළ තරග පරාජය මෙම තරගාවලියට කෙසේ බලපාන්නේද යන්න ශ්‍රී ලංකා කාන්තා කණ්‌ඩායමේ නායිකාව වන ශෂිකලා සිරිවර්ධනගෙන් කරන ලද විමසීමකදී, '377 ක්‌ කියන්නේ ලොකු ලකුණු සංඛ්‍යාවක්‌. එහිදී විශේෂයෙන්ම පන්දු රැකීම සහ පන්දු යෑවීමේදී ඇතිවූ දුර්වලතාවය නිසා සිදුවුණු දෙයක්‌. අනිත් තරග වලදි අපි ඉදිරියෙන්ම හිටපු අංශ දෙක මේ තරගයේදී දුර්වල වීම තමයි එම තරග පරාජයට හේතු වුණේ. නමුත් අපි ඒ වැරදි හදාගෙන ඉන්නේ' යනුවෙන් සඳහන් කර සිටියාය.

අදාළ ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල එංගලන්ත ඉන්දියාව සහ දකුණු අප්‍රිකා යන කණ්‌ඩායම්වලට එරෙහිව තරග ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට අවතීර්ණ වනු ලබන්නේ ධනාත්මක මානසික මට්‌ටමකිනි.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්‌ඩායම ඉකුත් 2009 වසරේදී තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලියකට ශ්‍රී ලංකාවේදී සහභාගිවුණු අතර එහිදී තරගාවලිය 3-2 ක්‌ ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීමද ශ්‍රී ලංකා පිලට හිමි අතිරේක වාසියක්‌ වේ.

අවසන් වසර කීපයේදීම කාන්තා එක්‌දින කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීමේදී අවසන් ස්‌ථාන දෙක අතර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වන විට එහි 5 වැනි ස්‌ථානය දක්‌වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටින අතර අනුශූරතාව හිමිවීම මත කොදෙව් ක්‍රීඩිකාවෝ එහි දෙවැනි ස්‌ථානයේ පසුවෙයි.

මෙම තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා නායිකාව, වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, 'අපි ලෝක කුසලාන තරගාවලියට පෙර ජාත්‍යන්තර තරග වල ප්‍රතිශතකයක්‌ වශයෙන් ගත්තොත් කොදෙව් පිලට වඩා අපි ඉදිරියෙන් ඉන්නවා. ඒත් මෑත කාලයේදී දෙගොල්ලොන්ගෙම ක්‍රිකට්‌වල දියුණුවක්‌ තියෙනවා විශේෂයෙන්ම ක්‍රීඩිකාවන්ගේ දියුණුවත් එක්‌ක' වශයෙන් සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවුණු කොදෙව් කණ්‌ඩායමේ පුහුණුකරු ෂර්වින් කැම්බෙල්ද අදහස්‌ දක්‌වමින්, 'ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉතා හොඳින් දක්‍ෂතා දැක්‌වුව කණ්‌ඩායමක්‌. ඒක නිසා මේ තරගාවලිය සුලූවෙන් ගන්න පුලූවන් තරගාවලියක්‌ නොවෙයි' වශයෙන් සඳහන් කර සිටියේය.

පිරිමි අංශයේ ගෙවීම් වලට සාපේක්‍ෂව කාන්තා තරග අංශයට කරන ගෙවීම් ඉතා පහළ මට්‌ටමක පවතින අතර ඒ සම්බන්ධව මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ උප ලේකම් හිරන්ත පෙරේරාගෙන් කරුණු විමසනු ලදුව ඉදිරි විධායක කමිටු රැස්‌වීමේදී ගෙවීම් වැඩි කිරීම සම්බන්ධව අවධානය යොමු කරන බව සඳහන් කර සිටියේය.

'අනිවාර්යයෙන්ම වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මෙ අවුරුද්දේ තමයි අපි ගෙවීම් කරන්න පටන් ගත්තේ. ඉස්‌සරහදි සියලූදෙනාටම ගෙවීම් වැඩි කරන්න. ඒක අපි ඊළඟ විධායක කමිටු රැස්‌වීමේදී කතා කරලා ඒ තීරණයට එළැඹෙනවා' යනුවෙන් පෙරේරා මහතා සඳහන් කළේය.

පිරිමි අංශයේ එක්‌දින තරගයකට සහ විස්‌ස විස්‌ස තරගයකට රුපියල් හාර ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ගෙවනු ලබන නමුත්, කාන්තා තරග අංශයේ එක්‌දින තරගයකට රුපියල් 12,000 ක මුදලක්‌ද විස්‌සයි-20 තරගයකට රුපියල් 5,000 ක මුදලක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ගෙවනු ලබයි.

තරග කාල සටහන

පෙබරවාරි 22 - පළමු එක්‌දින තරගය රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

පෙබරවාරි 24 - දෙවැනි එක්‌දින තරගය රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

පෙබරවාරි 26 - තෙවැනි එක්‌දින තරගය රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

මාර්තු 01 - පළමු විස්‌සයි-20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

මාර්තු 03 - දෙවැනි විස්‌සයි-20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all