Photobucket

Sunday, February 17, 2013

එදා කොටින්ගේ ගුවන් පථය අද අපේ මහ ගුවන් තොටුපළක්

2008වර්ෂයේ එක් දිනක කොටින්ගේ සැහැල්ලු ගුවන් යානාවකින් මුළු කොළඹම හෙල්ලුණේය. කාටත් හොරෙන් උතුරේ සිට ආ ඒ ගුවන් යානය ගුවන් හමුදාවේ රේඩාර් යන්ත්‍රවලට හසුවීමෙන් පසු ප්‍රහාර එල්ල විය.

ප්‍රහාර කීපයක් මධ්‍යයේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට නුදුරුව ආදායම් බදු ගොඩනැඟිල්ල අසල දී ඒ කුරුම්බැට්ටි ගුවන් යානය නියමුවා ද සමඟ පුපුරා ගියේය.

ඊට පෙර වරක් කොළඹට බෝම්බ කීපයක් හෙලමින් කටුනායක කරා ගිය තවත් කොටින්ගේ සැහැල්ලු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ අසල දී ගුවන් භටයන්ගේ ප්‍රහාරවලින් පුපුරා ගියේය.
මේ සියල්ල සඳහා කොටි ගුවන් යානා ආයේ කොයිබින් ද යනු ප්‍රශ්නාර්ථයක්ව තිබිණ. ඒ ප්‍රශ්නාර්ථයට පිළිතුරු ලැබුණේ යුද හමුදා ප්‍රහාර හමුවේ පසුබා යන කොටින්ගේ සුළු සුළු ගුවන් පථ කීපයක් හමුවීමෙනි.
ඒ අතරින් ප්‍රධානම හා විශාලතම කොටි ගුවන් පථය වූයේ ඉරණමඩු මහා වනාන්තරය මැදදී හමුවූ කොටි ගුවන් පථයයි.

ඉරණමඩු යන නම අපට මුලින්ම සවන් වැකුණේ ප්‍රභාකරන් විසින් සිය සැහැල්ලු ගුවන් යානා සඳහා භාවිත කළ එම ගුවන් පථය සොයාගත් පසුය.

මේජර් ජනරාල් ජගත් ඩයස් ගේ 57 වැනි සේනාංකය විසින් 2008 වසරේ දී මේ ගුවන් පථය සොයා ගන්නා විට එය කොටි ත්‍රස්තවාදීන් විසින් බුල්ඩෝසර යොදා හානිකොට තිබිණ.

ඉරණමඩු මේ කොටි ගුවන් පථය පිහිටා ඇත්තේ මහා වනාන්තරයක් මැදය. ඉහළ අහසට පවා නොපෙනෙන පරිදි සඟවා තබාගෙන සිටි මේ කොටි ගුවන් පථය සොයාගන්නා විට මීටර් 550 ක් තරම් කුඩා එකක් විය. ඊට හේතුව කොටි ත්‍රස්තවාදීන් විසින් එය භාවිත කරන ලද්දේ තම සැහැල්ලු ගුවන් යානා සඳහා පමණක් වීමය.

එහෙත් එය අල්ලාගෙන ඉන්පසු 2009 මැයි 19 දා ත්‍රස්තවාදී නායකයා ඝාතනය කොට මුළු රට එක්සත් කළ පසු මේ ඉරණමඩු ප්‍රදේශය හා ගුවන් පථය රටට වැදගත් විය. ගුවන් පථයට නොදුරින් වූ ඉරණමඩු වැව ද ප්‍රසිද්ධ වූයේ කොටි නායකයෙකු වූ ඇන්ටන් බාලසිංහම් විසින් ‘මුහුදු ගුවන් යානයක්’ එයට බැස්සවූ බැවිනි.
එහෙත් දැන් ඉරණමඩු ප්‍රදේශයේ අන්තර්ජාතික මට්ටමේ විශාල ගුවන් පථයක් තනා අවසන් වේගෙන යන අයුරු අපි පසුගියදා දුටුවෙමු.

මේ ඉරණමඩු ගුවන් පථය දැන් තැනෙන්නේ මුළුමනින්ම ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේය.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව 2009 ජුනි 21 දින ගුවන් හමුදා මූලස්ථානයේ අනුමැතිය අනුව ගුවන් භටයන් 20 දෙනකු හා නිලධාරීන් තිදෙනෙකුගෙන් පටන් ගත් ඉරණමඩු ගුවන් හමුදා කඳවුර අද ගුවන් භටයන් 750 කට නිවහන වෙයි.
වර්තමාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ සංකල්පයක් අනුව ඉරණමඩු ගුවන් පථය ඇරැඹීමේ කටයුතු ඇරැඹුවේ 2012 පෙබරවාරි මස මැද හරියේය.

ඉරණමඩු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ධාවන පථය සෑදීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් වෙනමම පක්ෂාංගයක් පිහිටුවන ලදී. එය හැඳින්වෙන්නේ ක්ෂණික ගුවන් ධාවන පථ අලුත්වැඩියා කිරීමේ පක්ෂාංගය යනුවෙනි. එහි අණදෙන නිලධාරිවරයා වන්නේ විංග් කමාන්ඩර් සුමේධ ද සිල්වා ය.
“මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ගුවන් හමුදාව විසින් ගොඩනැඟු පළමුවන ගුවන් පථයයි. මෙහි සේවය සඳහා මුළුමනින්ම සිටින්නේ ගුවන් හමුදා නිලධාරීන් හා ගුවන් භටයන්. මේ තාක් කල් ගුවන් හමුදාව සිය ගුවන් පථ අලුත්වැඩියාවන් සඳහා තම ශ්‍රමය වැය කළත් මුළුමනින්ම ගුවන් පථයක් තැනීමේ කටයුතු සඳහා යොමු වූ මුල් වතාව මෙයයි.

සැලසුම් ඉංජිනේරු කටයුතු කළේ ගුවන් හමුදා ඉංජිනේරු වරුන් විසින්. මෙයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අලුතෙන්ම ගෙනාවේ. ඒවා ක්‍රියා කරවීමට යෙදවූ කාර්මිකයන් වූයේ පුහුණු කළ ගුවන් භටයන්. අපි ගුවන් භටයන් ඒවා සඳහා මුල සිටම පුහුණු කළා.”
ඒ අප සමඟ කතා කළේ විංග් කමාන්ඩර් සුමේධ ද සිල්වා ය.

“මේ ගුවන් පථය කොතරම් දිග ද” මම ඇසුවෙමි.

“මෙය මීටර් 1500 ක් දිගයි. දැනට මීටර් 1100 හදා ඉවරයි. තව සතියකින් දෙකකින් සියල්ල අවසන් වේවි. මෙහි පළල මීටර් 25 යි.

මේ ගුවන් පථය පුරවන්නට අවශ්‍ය පස් ගත්තේ අවට වනාන්තරවලින්. ඊට අපි අවසර ගත්තා. ඒවා අපේම වාහනවලින් ගෙනාවේ. අවශ්‍ය කළුගල් වව්නියාවේ පිහිටි ගුවන් හමුදාවේ ඉඩමක පිහිටි ගල් කොරියකින් එනම් ‘මහමඩු’ ගල් කොරියෙන් ගෙනාවේ. මේ යන්ත්‍ර සූත්‍ර මුළුමනින්ම අලුත් ඒවා. දැනට පස් කියුබ් 42000 ක් විතර යොදාගෙන තිබෙනවා.”

විංග් කමාන්ඩර් සුමේධ ද සිල්වා කියාගෙන යයි.

ඒ අතර අපට බාධා කරමින් යන්ත්‍ර සූත්‍ර වැඩ කරයි. තම සුදු නිල ඇඳුමෙන් සැරසුණු ගුවන් භටයන් වැඩ කරන්නේ කඩියන් මෙන් කඩිසර කමිනි.

පිරිසක් තාර දමති. තවත් පිරිසක් ගුවන් පථය සමතලා කරමින් විශාල යන්ත්‍ර ඉදිරියට ගෙන යති. එක් පසෙක සිහින් කළුගල් හා සිමෙන්ති මිශ්‍රණය කරන්නේ විශාල බැකෝ යන්ත්‍රයකිනි. මේ සියල්ල නිරීක්ෂණය කරමින් විංග් කමාන්ඩර් සුමේධ ද සිල්වා ද එහා මෙහා යයි. ඒ අතර ඔහු අවශ්‍ය තොරතුරු මාධ්‍යවේදීන්ට කියා දෙයි.

මේ අතර අපට තොරතුරු කියා දෙන්නට ඉදිරිපත් වූයේ ඉරණමඩු ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ක්‍රිෂාන්ත මනම්පේරිය.
“මේ ගුවන් හමුදා කඳවුර දැනට අක්කර 4000 ක් පමණ භූමියක පැතිරිලා තියෙනවා. දැනට 700 ක විතර භටයන් හා නිලධාරීන් ඉන්නවා. අවශ්‍ය පහසුකම් සියල්ල තියෙනවා. ගුවන් භටයන්ට නිලධාරීන්ට කාන්තා ගුවන් නිලධාරීන්ට අවශ්‍ය නිවාස පහසුකම් සියල්ල තිබෙනවා. ක්‍රීඩා පහසුකම්, මෙන්ම විනෝදාත්මක කටයුතු සඳහා පහසුකම් තියෙනවා. ඒ පහසුකම් නිසා අපට මේ ගුවන් පථය හදන්නට අවශ්‍ය මිනිස් ශ්‍රමය යොදවන්නට පහසු වෙලා තියෙනවා.

ඉරණමඩු ගුවන් හමුදා කඳවුරට එන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් ඕලුමඩු මාන්කුලම් අම්බගාමම් හරහා ඒ මාර්ගය කිලෝමීටර් 18 ක් තියෙනවා. අනෙක් මාර්ගය කිලිනොච්චිය වට්ටකච්චි රාමනාදපුරම් හා කල්මඩු හරහා එය කිලෝමීටර් 15 ක්.
අප දැනට අක්කර 3000 ක ප්‍රදේශය එළිකොට අත්පත් කරගෙන තියෙනවා. තවත් අක්කර හාරදහසක්වත් අවශ්‍යයි.”

“එච්චර මොකට ද?” මාධ්‍යවේදියෙක් ඇසීය.
“ගුවන් පථය තියෙන නිසා ආරක්ෂිත භූමියක් අවශ්‍යයි. මෙය අංග සම්පූර්ණ ගුවන් හමුදා කඳවුරක් මෙතැන පිහිටුවන්න ගුවන් හමුදාපති තුමාගේ සංකල්පය. ගුවන් ආරක්ෂක පාසලක්, පරිපාලන ඒකකයක්, රියදුරන් පුහුණු කිරීමේ පාසලක් ආදි විවිධ දේ මෙතැන පිහිටුවන්න අදහස තියෙනවා.”
ඉරණමඩු ගුවන් පථය නිර්මාණය ගැන නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා නිරන්තර විමසුමෙන් පසුවෙයි.
 
ප්‍රභාකරන්ගේ රහස් කඳවුරු පිහිටි මේ මහා වනාන්තරය අගනා දැව සම්පතකින් යුක්තය. ගුවන් හමුදාවට හා යුද හමුදාවට අවශ්‍ය ලී බඩු සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ මේ දැව සම්පතය. මේ මහා වනාන්තරය ශ්‍රී ලංකාවේ කැලෑ දෙපාර්තමේන්තුවට අයත්ය. ගුවන් හමුදා භටයන් අතින් මෙහි සිටින කිසිදු වන සතෙකුට හානියක් නොවේ.

මහා වන මැද ගුවන් පථය ඇති ප්‍රදේශය ගිනි අව්වෙන් රත්වෙයි. එහෙත් වැඩ කරන ගුවන් භටයන්ට ඒ අව්ව ප්‍රශ්නයක් නොවේ.

මේ ගුවන් පථය මීටර් වශයෙන් ගතහොත් මීටර් 4900 ක් දිගය. රත්මලාන ගුවන් පථයේ දිග මීටර් 5800 කි. මෙය සැලසුම් කොට ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇති විශාලම ගුවන් යානය වන ඛ් 130 යානය ද ගොඩ බැස්වීමට හැකි පරිදිය. මෙය සෑහෙන දුරට නිම වීමෙන් පසුව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඛ් 130 යානය තමාම පදවාගෙන මෙහි පැමිණීම විශේෂත්වයක් විය.

ගුවන් පථය ඉතා ශක්තිමත් වීමට කොන්ක්‍රීට් තට්ටු හතරක් යොදවා ඇති බව විංග් කමාන්ඩර් සුමේධ ද සිල්වා මහතා පවසයි.
“දැනට අපි සියයට 90 ක්ම වැඩ ඉවරයි. පහුගිය ටිකේ වැස්ස නොතිබුණානං මෙලහකටත් වැඩ අවසන් වන්නට තිබුණා.”

දැන් අපේ ගුවන් හමුදා කණ්ඩායමකට ඕනෑම ජාත්‍යන්තර තලයේ ගුවන් පථයක් හැදීමේ ශක්තිය හා දැනීම තියෙනවා. මෙය තමයි මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ම මුළුමනින්ම තනා නිම කළ ගුවන් පථය. මෙහි ඇති විශේෂය මුල සිට අගට යනතුරුම මේ ගුවන් පථය එකම මට්ටමක තිබීමයි. වළ ගොඩැලි පල්ලම් මෙහි නැහැ. අනාගතයේ දී මේ ගුවන් පථය අන්තර්ජාතික මට්ටමේ ගුවන් පථයක් කිරීම අපේ අරමුණයි.”

එසේ කීවේ ද විංග් කමාන්ඩර් සුමේධ ද සිල්වා මහතායි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමූහික කටයුත්තක් වන ඉරණමඩු ගුවන් පථය අනාගතයේ දී ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික තලයේ ගුවන් පථයක් කරන්නට නම් එහි ඇති අඩුපාඩුවක් ද අපට පෙනේ. එනම් මේ ගුවන් පථය දක්වා එන මාර්ගයේ ඇති ප්‍රාථමික බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් තනා ඇති මේ ගුවන් පථය පිළිබඳව සැබැවින්ම ශ්‍රී ලංකා වැසියන් වශයෙන් අපට ආඩම්බර විය හැකිය. ඒ මෙය මුළුමනින්ම අපේ කොල්ලන්ගේ තාක්ෂණික දැනීම ශ්‍රමය තුළින් බිහිවූ නිර්මාණයක් බැවිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all