“මෙවර සරසවි සඳහා ශිෂ්‍යයන් විසි හය දහසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.”
“උපාධිධාරීන් පනස් එක් දහසකට ස්ථිර රැකියා ලබාදීමට කටයුතු කොට ඇත.”
“ස්ථිර කරනු ලබන උපාධිධරයකුගේ මාසික වැටුප රුපියල් විසිතුන් දහසකි.”
“උපාධිධාරීන්ට රැකියා දෙනු” යන්න ඇතැම් දේශපාලන පක්ෂවල ජනප්‍රිය සටන් පාඨයක් බවට
පත්ව තිබිණි. එහෙත් මෑත කාලයේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ සැලසුම් විටින් විට
ඉදිරිපත් වනු දක්නට ලැබිණි.”
අධ්‍යාපන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය උපාධියයි. ජීවිතයේ වසර විසි ගණනක අධ්‍යාපන
ක්‍රියාවලිය මූලික වශයෙන් උපාධියෙන් නිම වනවිට රැකියාවක් ලබාගැනීම සඳහා අවස්ථා
නිර්මාණය කිරීම පොදු සමාජයේ වගකීමකි. මේ වගකීම කේන්ද්‍රගත වන්නේ රජය තුළ ය. එබැවින්
මෙය රජයේ වගකීමක් වෙයි.
උපාධියක් ලැබූ අයකු ජීවිතයේ ස්ථාවරත්වයක් ලබා ගැනීම සඳහා කෙලින් ම අපේක්ෂා කරන්නේ
රජයේ රැකියාවකි. ඇතැම් ක්ෂේත්‍රවල දී පමණක් පෞද්ගලික අංශ දෙස අවධානය යොමු කරනු
දක්නට ලැබේ.
ඒ කෙසේ වුව ද උපාධිධාරියකුට ජීවත්වීමට අවශ්‍ය හෙට දවසේ ස්ථාවරත්වය ලබාදීම සඳහා රජයේ
සැලසුම් හි ඉඩකඩක් වෙන් ව තිබිය යුතු ය. ඇතැම් යුගවලදී මේ ඉඩකඩ වෙන් නොවූ බව අපි
හොඳින් ම දනිමු. රැකියා විරහිත උපාධිධාරී සංගම් වටා උපාධිධාරීන් එක් රොක් වූයේ මේ
වකවානුවේදී ය. එහෙත් මෑත කාලයේදී විටින් විට දස දහස් ගණනින් උපාධිධාරීන්ට රැකියා
ලැබිණි.
මේ සියලු තොරතුරු අතරට එක්වන උපාධිධාරීන් පනස් එක් දහසක් ස්ථිර කිරීමේ ආරංචිය
සුවිශේෂ වේ.
උපාධිධරයකු නිර්මාණය කිරීම සඳහා ගුරුවරුන් ද මවුපියන් ද ගන්නා වෙහෙස අපමණ ය.
මවුපියන් ඒ සඳහා වැය කරන මුදල සුවිශාල ය. මේ අතර කුසට අහරක් හෝ ඉණට වතක් නොමැතිව
කඳුළු බොමින් දහඩිය හෙළමින් ඒ යුතුකම ඉටු කළ මවුපියෝ ද වෙති. ඇතැම් විට වැඩිමහල්
දරුවාගේ උපාධිය වෙනුවෙන් බාලදරුවෝ සිය අධ්‍යාපනය කැප කළහ. එසේත් නොමැති නම්
වැඩිමහල් දරුවා බාලදරුවන් වෙනුවෙන් සිය අධ්‍යාපන ක්‍රියාවලිය කැප කළේ ය. කැපකොට ඒ
අරගලයට මුහුණදීම සඳහා කුමන හෝ රැකියාවක නිරත විය.
එසේ ම උපාධිධරයකු බිහි කිරීම සඳහා රජය විශාල මුදලක් වැය කරයි. රජයක් සලකන්නේ
උපාධිධාරියකු බිහි කිරීම යනු ඵලදායි ආයෝජනයක් ලෙසිනි. විද්‍යා, වාණිජ ආදි අංශ සඳහා
රැකියා ක්ෂේත්‍රයේ ඉඩ හසර වෙන්වුව ද කලා උපාධිධාරීන් සඳහා එසේ වෙන්වූ ඉඩක් තිබුණේ
නැත. එබැවින් ඔවුහු උපාධියත් තබාගෙන කම්කරු රැකියාවලට ද ගියහ.
රටක් වශයෙන් ගත් කළ මෙය අපරාධයකි. විශාල මුදලක් ආයෝජනය කර නිෂ්පාදනය කළ උපාධිධරයා
කිසිදු අදාළ කමක් නැති කම්කරු හෝ සුළු රැකියාවකට සම්බන්ධවීමෙන් ආයෝජනයේ සැබෑ ඵලය
නොලැබෙන බවට විවාදයක් නැත.
එසේ වූ විට ආයෝජනය අපතේ යෑම මතු නොව මහා බරක් රටේ ආර්ථිකයට හා සමාජයට එක් වීම ද
සිදුවේ.
තරුණ පරපුරේ සෑම කෙනකුටම රැකියා සඳහා ඉඩකඩක් සමාජයේ තිබිය යුතු බව සැබෑ ය. එහෙත් මේ
මොහොතේ අප උපාධිධරයා ගැන පමණක් අවධානය යොමු කරන්නේ රටේ අනාගත ආර්ථිකය ගොඩනැංවීමේදී
විශේෂයෙන් මෙහෙයවීමේදී ඔවුන්ගෙන් ලබාගත හැකි මෙහෙවර සුවිශේෂී වන නිසා ය.
වැඩක් කිරීමට අවශ්‍ය දැනුම ද වැඩක් කිරීමට ඇති නොඉඳුල් ආශාව ද වැඩක් කිරීමට අවශ්‍ය
නිදහස ද සහිත උපාධිධරයා රස්තියාදු කිරීම ජාතික අපරාධයකි.
මේ වනවිට රටපුරාම සංවර්ධන ක්‍රියාවලියක් දියත් වේ. මේ සඳහා මානව සම්පත් විශාල
වශයෙන් අවශ්‍ය වේ. මෙසේ උපාධිධාරීන්ට ස්ථිර රැකියා ලබාදීමට, එසේ ලබාදීමෙන් ඔවුන්ගේ
ජීවිතයේ ස්ථාවරත්වය සාක්ෂාත් කිරීම ද ඉහත දැක්වූ අපරාධය වලක්වනවා සේම සංවර්ධන
ක්‍රියාවලියේ ඉලක්ක ජය ගැනීම සඳහා අවශ්‍ය දැවැන්ත ශක්තියක් ද සම්පාදනය කරනු ඇත.
උපාධිධරයා ගල් කැඩූ යුගය, ගෙයින් ගෙට ගොස් බඩු විකිණූ යුගය, එසේත් නොමැති නම්
කිසිවක් ම නොකොට රජයට ද සමාජයට ද සමස්ත ලෝකයට ද පමණක් නොව තමන්ගේ උත්පත්තියට ද සාප
කළ යුගය නිමා වී ඇත. තම දැනුම ද තාරුණ්‍යයේ ජවය ද ඒකාබද්ධ කොට රට වෙනුවෙන් තම වගකීම
හා යුතුකම ඉටු කිරීමට දැන් ඔවුන්ට අවස්ථාව ලැබී ඇත.
මවුපියන් හෙළූ දහඩියට සහ කඳුළට සැබෑ අර්ථයක් ලැබෙන්නේ එසේ තම යුතුකම ඉටු කළ විට
පමණි. තම බාල හෝ වැඩිමහල් සහෝදරයන් කළ සුවිශාල කැප කිරීම අර්ථවත් වන්නේ ද එවිට ය.
ගුරුවරුන්ගේ අපේක්ෂා සහ ආශිර්වාද යථාර්ථයක් බවට පත්වන්නේ ද එවිට ය. පොදුවේ සමාජය ද
දේශය ද තෘප්තිමත් වන්නේ උපාධිධරයා ඒ වගකීම ඉටු කළහොත් පමණි.
එබැවින් උපාධිධාරීන් පනස් එක් දහසකට එකට රැකියා ස්ථාවරත්වය ලබාදීමෙන් රජය ඉටුකර
ඇත්තේ මවුපියන්, ගුරුවරුන්, පොදුවේ සමාජයම සහ දේශයම බලාපොරොත්තු වූ අපේක්ෂා මල්ඵල
ගැන්වීමක් ය. ඒ පියවර නූතන සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉමහත් ශක්තියක් වනු නිසැක ය.
0 comments:
Post a Comment