Photobucket

Thursday, January 17, 2013

ආම්ස්ට්‍රෝං වරද පිළිගනී

සිය හැකියාවන් වර්ධනය කරගැනීමේ අරමුණින් තහනම් උත්තේජන භාවිතා කළ බව අන්තර් ජාතික පාපැදි පිටියේ ආන්දෝලනාත්මක තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනා ලැබූ ලාන්ස් ආම්ස්ට්‍රෝං පළමුවරට පිළිගෙන ඇතැයි යූ.එස්.ඒ. ටු‍ඩේ පුවත්පත ප්‍රකාශ කළේය.

සුප්‍රකට රූපවාහිනි වැඩසටහනක් වන 'ටෝක් ෂෝ' වැඩසටහනට එක්වෙමින් ඔහු එම වැඩසටහන මෙහෙයවන ඔප්රා වින්ෆ්‍රේට පවසා ඇතැයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි. 

වසර 7ක් ප්‍රංස සවාරිය ජයගනිමින් පාපැදි පිටියේ අමරණිය චරිතයක් බවට පත්වූ ආම්ස්ට්‍රෝං තහනම් උත්තේජන භාවිතා කිරීමට වැරැදිකරු වීමේ හේතුවෙන් ඒ සියලු පාපැදි ශූරතා සහ මුදල් ත්‍යාග ඔහුගෙන් ඉවත් කරගැනීමට අන්තර් ජාතික පාපැදි සම්මේලනය කටයුතු කර තිබිණි. ඒ වනවිටත් ඔහු තමාට එල්ලවූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටියේය.

ආම්ස්ට්‍රෝංගේ සම්මුඛ සාකච්ඡාව ඇතුලත් 'ටෝක් ෂෝ' රූපවාහිනි වැඩසටහන මේ සති අන්තයේ විකාශය කිරීමට නියමිතය. නමුත් 'ට්විටර්' වෙබ් අඩවියේ තම පිටුවේ සටහනක් තැබූ ඔප්රා වින්ෆ්‍රේ ආම්ස්ට්‍රෝං තහනම් උත්තේජන භාවිතා කළ බව පිළිගත්තේ යැයි සඳහන් කර ඇත.

පැය දෙකහමාරක කාලයක් පුරා ඔහු තමා සමග සාකච්ඡාවේ නිරතවූ බවත්, එහිදි ඔහු සියල්ල ප්‍රකාශ කිරීමට සූදානම් වී පැමිණ සිටි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මේ වැඩසටහන විකාශය වනතුරු කිසිදු කරුණක් හෙළිදරවු නොකරන ලෙස වැඩසටහනේ කලමනාකාරිත්වය උපදෙස් දී තිබුණත් එය නොතකා ඇය විසින් අන්තර් ජාලය ඔස්සේ ඇතැම් කරුණු හෙළිදරවු කිරීම සම්බන්ධව මේ වනවිට මතභේදයක් හටගෙන ඇතැයි යූ.එස්.ඒ. ටු‍ඩේ පුවත්පත වැඩිදුරටත් පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all