Photobucket

Sunday, February 17, 2013

පෙට්‍රල් කියල හුළං ගැහිල්ල

විතේ ගොඩදාගන්න වීරිය කරන මිනිස්සු අතරේ පසුගිය සතියේ බිත්තර බිස්නස් එකෙන් කෝටිපතියෙක් වුණ ලොකු අයියා ගැන කිව්ව කතාව මතකයිනේ. කොහොම වුණත් කමක් නැහැ සාධාරණ විදිහට දෙයක් වෙනවා නම්. සුගතත් රුවනත් අරගෙන පාරට වැටුණු අපි ආයෙමත් මහා පාරට වැටුණේ මෙදා පාරත් ජීවිතේ නෙමෙයි හතර වරිගයම ගොඩදාගන්න අමුතු ගේමක් දෙන මෑන් කෙනෙක් හොයාගෙන.

මොනවා හරි කරලා කමක් නැහැ අතට කීයක් හරි ලැබිලා යහමින් ජීවත් වෙන්න ලැබෙනවා නම් හොඳයි කියලා හිතන මිනිස්සු අතරේ එහෙම ගේම් දෙන මෑන් කෙනෙක් තමයි ගුණේ අයියා. නම ගුණේ වුණාට කරන තරමක් අගුණ වැඩත් එක්ක ජීවිතේ රෝලගහන අපේ අයියා ඉන්න ඉසව්වට ඔන්න අපි පිටත් වුණේ අපේ රටේ ප්‍රයිවට් බස් එකක. කිලෝමීටර් 15 ක් විතර ගිය තැන අපි ඉසව්වට ළඟාවුණා.
”මොනවා කරනවද ඔය දොරේ එල්ලිලා ඉක්මනට බැහැ ගන්නවා.” අපේ රටේ කොන්දොස්තර මල්ලිගේ සුපුරුදු කාරුණික වචන ටික ඇහෙන්න ගත්තා.

”ඕයි තමුසෙට වගේම අපිටත් ජීවිතයක් තියෙන්නේ.”
කොන්දොස්තර මල්ලිට තව මොනවදෝ සුගතා කියන්න හදන ගමන්ම පිම්මේ ආව ප්‍රයිවට් බස් දෙකතුනක් එක්කම අපි ආව එකත් මල්ටි බැරැල් වගේ ඉඟිල්ලිලා ගියා. රුවනත් මමත් පැත්තකට පැනගනිද්දි සුගතා තවත් සිංහල භාෂාවෙන්ම ඉඟිල්ලිලා යන කොන්දොස්තර මල්ලිගේ බස් එකට පලුයවනවා ඇහෙනවා.
”යකෝ මේක පුදුම වැඩක්නේ. මුන් හැම එකාම සත්තුන්ටත් වඩා අන්තයිනේ. බලපල්ලකෝ පුදුම දිවිල්ලක්නේ දුවන්නේ. මේකද ජීවත් වෙනවා කියන්නේ.
කන්දෙකෙන් දුම්දාන සුගතගේ කතාවට තාමත් බ්‍රේක් නැහැ. බැරිම තැන රුවනත් පැන්නා කතාව මැද්දට.
”එහෙම කතා කරන එක වැරැදියි මල්ලි. ටිකක් ඉවසන්න පුරුදුවෙයන්. හැම මනුස්සයම ඔහොම නැහැනේ...”

ආරූඪ වුණු කපුවා වගේ කැරකුන සුගතා රුවනගේ වචන ටිකෙන් තවත් ඇවිස්සුනා. “හරි එහෙම ඉවසන එකෙක් පෙන්නපන් මට.”

”ඔක්කොටම කලින් බලපන් උඹලගේ බල නහරවල් කැපිලද කියලා. යකෝ අහුලපු පොල්ගෙඩියට කොස්ගෙඩියට උසාවියට ගිහින් නඩුදාන වුන් ඉන්න රටක් මේක.”

තවත් දුරදිග යන්න කලියෙන් ඉස්සරවුණු මම සුගතත් රුවනත් දෙපැත්තට කරලා ගුණේ අයියා හොයන්න ගත්තා. කොන්ක්‍රිට් කරපු පාරකට වැටුණු අපි අතේ තිබුණු ලිපිනයට අදාළ ගෙදර ළඟ නැවතුණා. වැඩේ මේකයි ගුණේ අයියා ගැන කියන්න කලියෙන් අපි ස්වයං වාරණ කිහිපයක් දාගන්නම්. මොකද අපේ අයියගේ ගම්පළාතවත් ගෙවල් පැත්තවත් නොකිව්වට අමතක කරන්න එපා මේ එක ගුණේ අයියා කෙනෙක් විතරයි. මෙහෙම ගේම් ගහන ගුණේ අයියා වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ රටේ. හරි ඔන්න අපි අරුළු බුළු නෙල්ලි නැතුව වැඩේට බහින්නම්. එතනින් පස්සේ ජීවිතේට දෙයක් එකතු කරගන්න තියෙනවද බලන්න.

”යකෝ ගෙදර පිටින් දැක්කම හැටි වගේද මරුටියකුත් තියෙනවා.” සුගතාගේ දේශනාව පටන්ගන්න කලින් කකුල පාගපු මම එතැනින්ම නැවතුම තැබුවා.

”ඔන්න මල්ලිලා එනවා කියපු නිසාම අද මම පොඩි නිවාඩුවක් දාගත්තා. හැබැයි අපි ඉක්මනටම කතාවට බහිමු. මට පොඩි වැඩකට යන්නත් තියෙනවා.”
හරි ගුණේ අයියා. අයියා මොනවද කරන්නේ.

මල්ලි මම වැඩ කරන්නේ කොහෙද තැන මොකක්ද කියන තැන අදාළ නැහැනේ. ඒක මට හරි නෑ. මම ඉතිං ජොබ් එකක් විදිහට සෙඩ් එකක තෙල්ගහන එක තමා කරන්නේ.
කොහොමද සෙඩ් එකේ ජොබ් එක අයියට සෙට්වුණේ.

මෙහෙමනේ ස්කෝලේ යන කාලේම මට තේරුණා ඉගෙන ගන්න දෙයින්නම් මට යහපතක් වෙන්නේ නෑ කියලා. ඒ නිසා දහයේ පන්තියෙන් මගේ ස්කෝලේ ගමන ඉවරයි. අනෙක අපේ අම්මලාට අපිට උගන්වන්න ලොකු ශක්තියක් තිබුණෙත් නැහැ. ඉතිං ඒ දවස්වල හැටියට මොකක් හරි ජොබ් කෑල්ලක් හොයාගන්න තමා ඕනකම තිබ්බේ. කුලී වැඩ කළා. මේසන් වැඩවලට අත් උදව් දුන්නා. ගස් කපන්න ගියා. ඔය හැමදේම අතහැරලා මම සෙඩ් එකේ ජොබ් එකට සෙට්වුණා. පස්සේ ඉතිං මෙතන තමයි මට අල්ලලා ගියේ.
ඒ ඇයි?

මෙහෙමනේ මල්ලිලා අපි ජීවත්වෙන්නත් එපැයි. ඉතිං පොඩි පොඩි සම්තින් හොයාගන්නත් පුළුවන්. අනෙක දැන් මට ළමයි තුන්දෙනෙක්. උන්ට කන්න බොන්න ස්කෝලේ යන්න හැමදේම කරන්නත් එපැයි. ඉතිං කොහොමද කුලියක් කරලා ඔය හැම දේම කරන්නේ.
ගුණේ අයියා සෙඩ් එකේ වැඩ ගිහින් කොච්චර කල්ද?

දැන් අවුරුදු දහයක් විතර එතන. හොර බොරු නැහැනේ ලොක්කට හිතට ඇල්ලුවා. ඉතිං දිගටම වැඩ. ඔය ටිකට පේනවනේ මල්ලි ජීවිතේ බෝරින් නැතුව අපි ඉන්නවා. පොඩි වාහන කට්ටක් ගත්තා. තුන්වේල හොඳට කනවා. ඡ්මයි ටිකට හොඳයි. ඉතිං අවුලක් නෑනේ.

ගුණේ අයියා අර සම්තින් කතාවක් කිව්වා නේද? අමතක වෙලා යන්න ගිය දෙයක් සුගතාගේ මොළේට ඉව වැටුණා.

මෙහෙමනේ මල්ලිලා ඔය සෙඩ්වල වුණත් හරි අපූරු දේවල් වෙන්නේ. දැන් මේකනේ දවසට අපි එක්කෙනෙකුට සෙඩ් එකේ පෙට්‍රල් හරි ඩීසල් හරි ටෑන්ක් එකක් දෙන්නේ ලීටර් ගාන මැනලා. එතකොට හවස් වෙනකොට කොච්චර ලීටර් ප්‍රමාණයක් වාහනවලට ගහලා තියෙනවද බලා සල්ලි දෙන්න ඕන. ඔහොම තමයි මල්ලිලා මම ඉන්න තැන කරන විදිහ.
ඊට පස්සේ.

මෙහෙමනේ මේ දේවල් මට ලොකුවට කියන්න බැහැ. මොකද අපේ සම්තින් වලටමයි තට්ටු වෙන්නේ. ඉතිං මල්ලිලා කවුද අද වාහනේකට තෙල් ගහන එන එකෙක් පොම්පේ දිහා බලාගෙන ඉන්නේ. ආව එකා වීදුරුව පහත් කරා මීටරේ දිහා බලාගෙන ඉන්නවා. එහෙමත් කෙනෙක් තමයි පොම්පේ දිහා බලාගෙන ඉන්නේ.
මොකක්ද ඒ කතාව.

කතාව මේකයි. අපි බලනවා තෙල් ගහන්න එන වාහනේ කවුද ඉන්නේ කියලා. ඊට පස්සේ බලනවා සල්ලිද දෙන්නේ නැත්නම් කාඩ්එකද දෙන්නේ කියලා. ඒකත් බලලා මීටරේ ගාණ දාලා වාහනෙට තෙල් ගහනවා. වාහනේ ආව කෙනා මීටරේ දිහා බලාගෙන ඉන්නවා. මල්ලිලා දැකලා ඇතිනේ පොම්පෙ පොඩි හැඩල් එකක් තියෙනවා. ඕක අපි හදලා තියෙන්නේ. හැඩල් එක තද කරපු ගමන් ටැංකියට යන්නේ හුලං. තෙල් නෙමෙයි. හැබැයි මීටරේ දුවනවා ගාන වැටෙනවා. ඕවා හදන්න පුළුවන් ඔස්තාර්ලා අපි ළඟ ඉන්නේ.
මාරයිනේ

මේ මොනවා අහනවද? ඕක දෙතුන් පාරක් කළාම ලීටරයක් විතර වැදිලා තියෙන්නේ හුලං. කවුද පෙට්‍රල් ටැංකියට එබිලා බලන්නේ. ආයේ තර්ක කරන්න බැහැනේ. මීටරේ ලීටර් ගාන වැටිලා තියෙනවා. හැබැයි ඕවා වුණත් කරන්නේ මල්ලි කෑස් දෙනවා නම්. කාඩ් එකෙන් ගහනකොට අපිට කොහෙද කොමිස්.
ඉතිං මොකක්ද ඔය කොමිස් වැඩේ.

ඔයාලා පොඩි ළමයිනේ. මම ඉස්සරලා කිව්වේ අපිට උදේට ටැංකියක් බාර දෙන්නේ ලීටර් ගාන බලලා. හවස අපි ටැංකිය භාර දෙන්නේ අපි වාහනවලට ගහන ලීටර් ගාන ලියලා ඉතුරු ටිකත් එක්ක. මෙහෙම හිතන්නකෝ මට උදේ ටැංකිය භාර දෙනකොට පෙට්‍රල් ලීටර් 800 ක් තිබුණා. හවස මම සල්ලි දෙන්න ඕන ඒ අටසීයෙන් කීයක් තියෙනවද බලලා. ඉතිං වාහනවලට පෙට්‍රල් එක්ක හුළං ගහනවා. ඔය විදිහට ලීටර් දහයක විතර මුදලක් මගේ අතේ ඉතිරි වෙනවා. ඒවා මට.
නෑ එහෙම කරන්න පුළුවන්ද?

ඔයිට වඩා දේවල් මේ රටේ වෙනවනේ. ඉතිං අපි පොඩි කොමිස් එකක් ගත්තම මොකද වෙන්නේ. සමහර සෙඩ්වල ඔයිට වඩා දේවල් අපේ අය කරනවා. හැබැයි කාටවත් මේවා තේරෙන්නේ නැහැ. දැන් ටූටී ගහනවා ත්‍රීවිල් වලට. ඔය ටූටී ගැහිල්ලෙදි අපි ඔයිල් එකතු කරනවා. හිතන්නකෝ ඔයිල් දාන්න තියෙන්නේ රුපියල් පහළොවක විස්සක වගේ. කවුද ඕවා ගාණට මනින්නේ. බීම බෝතලයකට අපිට හිතෙන විදිහට ඔයිල් දානවා. දැම්මා හැලුවා ත්‍රිවිලර් ටැංකියට. හලපු ගමන් බෝතලේ ගත්තා. ඉතිං ඔයිල් ටික හරියට වැටෙන්නේත් නැහැ. ඉතිරි ටික බෝතලේ. අනෙක ඕන නම් රුපියල් හතක අටක ඔයිල් වැටිලා ඇති ටැංකියට. ඉතිං ඉතිරි ඔයිල් වලිනුත් අර වගේ ගාණක් අතට එනවා.

ගුණේ අයියගේ කතාව කොහොමද? අපිට හිතාගන්නත් අමාරුයි නේද? ඔය ගුණේ අයියා එළියට දැම්මේ බොහෝම පොඩි දේවල් ටිකක්. හැබැයි ඒ පොඩි දේවල් සිද්ධ වෙන්නේ අපි මහන්සියෙන් හම්බකරන තුට්ටු දෙකත් එක්ක.

ඔය විදිහට දවසට ලොකු ගාණක් ගුණේ අයියලා හොයනවා.

මෙහෙමනේ මල්ලිලා මේ වැඩ තනියම කරන්නත් අමාරුයි. කොහොමත් අපි සෙට් එකම වැඩේ දන්නවා. දවසට එකෙකුට පඩියට අමතරව දාහක් දෙදහක් හොයාගන්නවා. සමහරදාට ඊටත් වැඩියි.
ඉතිං ගුණේ අයියා මේක මාර ජොබ් එකක් නේ.

පි විතරක් නෙමෙයි මල්ලි අද හැම එකාම බලන්නේ මොකක් හරි පොඩි ගාණක් තියාගන්න. සමහර රජයේ වාහන ප්‍රයිවට් ආයතනවල වාහන එනවා තෙල් ගහන්න. ඒ එන ඩ්‍රයිවර්ලා කරන්නේ මුලින්ම අපිව අල්ල ගන්න එක. ඉතිං ඒ එන වාහනවලට තෙල් ගහනවා රු. 3500 ක විතර. හැබැයි බිල දානවා 5000 ක. බිල දැම්මට අපිට රුපියල් 250 ක් දීලා යනවා. ඔය වගේ එව්වා කොච්චර වෙනවද? කතාවෙන්ම මල්ලි වෙලාවත් ගියා. පොඩිවුන් ටික එන්න ළඟයි. කියපු ගුණේ අයියා කාමරයට රිංගුවා.

ඔන්න පේනවනේ සිද්ධවෙන දේවල්. කලකිරෙනවා නේද? ගුණේ අයියලා ගැන නෙමෙයි අපි ගැන. තවත් ගුණේ අයියලා කරන අගුණ වැඩ ඕන තරම්. ඒත් අපි මෙතනින් ගැලවෙන්නේ පාඩමක් ඉගෙන ගෙන.
”යකෝ හිඟාකෑවත් අපේ රටේ ලක්‍ෂයක් විතර හොයන්න පුළුවන්ලු. හිඟාකන්න බැරි එකේ මේ වගේ වැඩකට සෙට් වෙමු. ජීවිතේම ගොඩ. පේනවනේ ගුණෙයා ඉන්න ලස්සන.” සුගතගේ යෝජනාවට රුවනගේ සීමාව පැන්නා.
”මේ ඔක්කොටම කලියෙන් ඔළුව අතගාලා බලපං අං එනවද කියලා.”

”මේ දැනගනින් මගේ නෙමෙයි අං එන්නේ උඹලගේ. මොකද උඹලා වගේ ඳඬස්සු හින්දා තමයි මේ වගේ මිනිස්සු ඔළුව උස්සන්නේ.”

සුගතගේ කතාවේ ඇත්තක් තියෙනවා කියලා මට තේරුණා. ඒත් එක්කම කාමරයෙන් එළියට ආව ගුණේ අයියා මරුති කාර් එක ළඟට අපිත් එක්කම ගෑටුවා.

”මල්ලිලා මම මේ රෝස් පාන් ටිකක් ගේන්න බේකරිය ළඟට යනවා. පොඩිවුන් ආව හැටියෙම උන්ට පාන් ඕන.”

සුගතා ආයෙත් කනට කොඳුරනවා. “මම මල්ලිලා මගට දාන්නම් යමු.” කියපු ගමන්ම සුගතා රින්ගුවා මරුතිය ඇතුළට. මේ එක අයියා කෙනෙක් විතරයි. මේ වගේ අයියලා හැමතැනම. ඒ හින්දා ඔන්න වාහනයකට තෙල් ටිකක් ගහන්න යනකොට ඇස් කටේ දාගෙන උඩ බලාගෙන ඉන්න ආස වගේම මෙලෝ සිහියක් නැතුව ෆෝන් එක කනේ අටවගෙන හතර වටේ ගහගෙන බේගල් ඇද බාන අයටත් සිහියෙන් ඉඳගෙන තෙල්ටික වාහනයට ගහගෙන පිටත් වෙන්න කියලා ඔන්න අපි සැලියුට් එකකුත් ගහගෙන ගුණේ අයියගේ මරුතියෙන්ම පාරට බැස්සා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all