Photobucket

Thursday, February 21, 2013

ලක්ෂ 10ක් වංචා කර පැන ගිහින් මහණවෙන්න හැදූ සැකකාරිය දැලේ

සයිප්‍රස් රටේ රැකියා ලබාදෙන පොරොන්දුව මත පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 10ක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක් පොරොන්දුව ඉටු නොකර හොරණ දෙකඳුවල ප්‍රදේශයේ මෙහෙණි අරණකට වී මහණවීමට සූදානම් වෙමින් සිටියදී ගම්පහ මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉතා දුෂ්කර මෙහෙයුමක් කර සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියගේ සොහොයුරියක් සයිප්‍රස් රටට රැකියාවක් සඳහා යවන බවට පොරොන්දුවී පැමිණිලිකාරියගෙන් රුපියල් ලක්‍ෂ 10ක් ලබාගත් සැකකාරිය කාලයක් ගතවී ගිය නමුත්, රැකියාවට යැවීම හෝ මුදල් ආපසු ගෙවීම හෝ සිදු නොකළ හෙයින් අසහනයට පත්ව ගම්පහ මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිස්ස සේනානායක මහතා හමුවේ පැමිණිලිකර තිබුණි.

ඒ අනුව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ධ් එම්. ඒ. රංජිත් මාසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ ගම්පහ - මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිස්ස සේනානායක, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ඒ. ඩබ්ලිව්. ඒ. වඩුවාවල ඇතුළු නිලධාරී පිරිසට ඒ වනවිට සිය දරු දෙදෙනා සහ ප්‍රදේශය අතහැර සැඟවී සිටි මෙම කාන්තාව සෙවීමට විශාල දුෂ්කර මෙහෙයුමක් කිරීමට සිදුවූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

සැකකාරිය ප්‍රදේශය අතහැර යනවිට ඇය භාවිතා කරමින් තිබූ සියලු දුරකථන අංක සියල්ල වෙනස්කර ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකි හෝඩුවාවක් ඉතිරි නොකරම සැඟවී සිටි බව පොලිසිය පවසයි.

ඒ අනුව දුරකථන සමාගම්වල සහායෙන් ඇගේ පැරණි දුරකථන අංකවලට ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් වැඩි වාර ගණනක් කතාකර තිබූ පුද්ගලයා වෙත එම ඉඩම මිලදී ගැනීමට පැමිණියකු මෙන් පොලිස් උපාය දූතයෙක් යොදවා ඇත. ඉන්පසුව ඉඩම විකිණීම සඳහා තොරතුරු කීමට හොරණ ප්‍රදේශයෙන් පැමිණි දුරකථන අංකය අනුව යමින් සැකකාරිය සැඟවී සිටි හොරණ දෙකඳූවල ‍ෙමහෙණි ආරණ්‍ය සේනාසනය සොයාගෙන ඇත. සැකකාරිය වසරක් පමණ මෙම ස්ථානයෙහි මහණවීම සඳහා පෙරුම්පුරමින් නවාතැන් ගෙන ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all