Photobucket

Tuesday, December 11, 2012

ජාතික සෞඛ්‍ය සැලැස්ම ජනපතිට අද බාර දෙයි

පස් අවුරුදු ජාතික සෞඛ්‍ය සැලැස්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (11) සිදුකෙරේ.

සෞඛ්‍ය අංශයේ ක්ෂේත්‍ර 14ක් ආවරණය වන පරිදි මේ සැලැස්ම සකස් කර ඇති අතර වසර 2013 සිට 2017 දක්වා මේ පස් අවුරුදු ජාතික සැලැස්ම ක්‍රියා‍ත්මක කෙරේ.

එක් එක් වසරවලදී ළඟා කර ගත යුතු ප්‍රගතිය හා ඉලක්කයන් ද ඒ සඳහා ගත යුතු පියවරයන් මොනවාද යන්න ද මේ සැලැස්මෙහි අන්තර්ගත වේ.

ජාතික සෞඛ්‍ය සතියේ සමාරම්භක උත්සවය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණ. එම අවස්ථාවට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. සේවාවට වගකීමෙන් කැපවීමේ ප්‍රතිඥාව ඊයේ (10) උදෑසන 8.30 ට ලබාදෙමින් රට පුරා සෞඛ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී කටයුතු ආරම්භ කෙරිණ. 

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව දෙසැම්බර් මාසයේදී ජාතික සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත් කෙරේ. දෙසැම්බර් මාස් කන්නයේදී ලැබෙන අධික වර්ෂාවත් සමඟ රට පුරා ප්‍රදේශවල විවිධ රෝග පැතිර යාමේ අවදානමක් පවතියි. 

සාර්ථකව ඒ සඳහා මුහුණදීමේ අරමුණෙන් ජාතික සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරේ. වසර අවසානයේදී සහ අලුත් වසරක් ආරම්භ වීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සේවකයන්ගේ උද්යෝගය ඇති කිරීම ද මේ සතියේ තවත් අරමුණකි. ජාතික සෞඛ්‍ය සතියේ සමාරම්භක උත්සවයට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුජාතා සේනාරත්න, ඩී.එම්.ආර්.බී. දිසානායක මහත්ම මහත්මීහු සහභාගී වූහ.

සන්ධ්‍යා කරුණාරත්න
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all