Photobucket

Wednesday, December 12, 2012

තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වූ හිමාෂ එෂාන්ට වසරක තහනමක්

පුහුණුකරු පිළිබඳ තීරණයක් ගැනීම මලල ක්‍රීඩා සංගමයට පැවැරේ

තහනම් උත්තේජක ලබාගත් බවට වැරදිකරු වී ඇති කෙටි ධාවන ශූර හිමාෂ එෂාන්ට වසරක තරග තහනමක් පැනවීමට චෝදනා විමර්ශන කමිටුව නිර්දේශ කර ඇති බව ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන සිල්වා මහතා සඳහන් කර සිටියේය. 
 
ඊයේ සවස ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්යවරයා තමා තහනම් උත්තේජක ලබාගත් බවට මෙම ක්‍රීඩකයා විසින් කෙළින්ම පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශ කර සිටීමත්, දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස ඔහුට ඉදිරියේදී රට වෙනුවෙන් ජයග්‍රහණ ලබාදීමේ අනාගතයක් ඇති බවත්

නිරීක්ෂණය කරමින් වසරකට පමණක් තරග තහනමක් පැනවීමට විනය පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇති බව සඳහන් කළේය.

මේ අතර හිමාෂ එෂාන්ගේ පුහුණුකරු මේ සිද්ධිය පිළිබඳ ප්‍රබල වගකීමක් දැරිය යුතු පුද්ගලයෙක් වන බැවින් ඔහුට යම් දඬුවමක් පැනවීම ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් සිදුකළ යුතු කාර්ය බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී මෙම සිද්ධියේ වාර්තාව විනය පරීක්ෂණ කමිටුව විසින් තම සංගමය වෙතට පත් කිරීමෙන් අනතුරුව පුහුණුකරු පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය ගැන කටයුතු කරන බව සඳහන් කර සිටියේය. හිමාෂ ලබා ඇති අමතර ‍පෝෂ්‍යපදාර්ථ පානයේ ජැක් - 3 - මීතයිල් සංඝටක අඩංගු බවද එම ශක්ති ජනක පානය පසුගිය අප්‍රේල් මාසයේ සිට ආහාර ඖෂධ තහනම් කිරීමේ (ජ්.ච්.ඒ) ආයතනය විසින් තහනම් පානයක් ලෙස නම් කර ඇති බවද මහාචාර්ය අර්ජුන සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව අවශ්‍ය නම් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමාෂට හිමිවන බවද මෙහිදී සඳහන් විය.

පෙරේදා පැවැති විනය පරීක්ෂණ අවස්ථාවේදී එහි ප්‍රධානී ලෙස වෛද්‍ය මයියා ගුණසේකරද සාමාජිකයින් ලෙස මහාචාර්ය රෝහිණී ප්‍රනාන්දුපුල්‍ලේ සහ නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද යන මහත්ම මහත්මීන් කටයුතු කළ බවත්, එහිදී ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය වෙනුවෙන් තමාත් මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් සුනිල් ජයවීර මහතාත් නිරීක්ෂකයින් ලෙස පමණක් සහභාගි වූ බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. හිමාෂට පැනවූ දඬුවම පසුගිය නොවැම්බර් මාසයේදී ඔහුගේ මුත්‍රා සාම්පල් පරීක්ෂා කළ දිනයේ සිට ඉදිරියට වසරක් වලංගු වන බවද මහාචාර්ය අර්ජුණ සිල්වා මහතා සඳහන් කර සිටියේය.

වසරක තරග තහනමකට ලක්වූ 17 හැවිරිදි හිමාෂ එෂාන් පසුගියදා කොළඹදී පැවැති අනූවෙනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව තත් 10.51කින් නිම කරමින් වසරේ වේගවත්ම ධාවකයා වෙමින් රන් පදක්කමක්ද දිනාගැනීමට සමත්විය. එම ක්‍රීඩා උළෙ‍ලේදී විශේෂ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගේ මුත්‍රා සාම්පල් තහනම් උත්තේජක පිළිබඳ පරීක්ෂණ සඳහා මැ‍ලේසියාවේ රසායනාගාරයකට යැවීමෙන් පසු, හිමාෂගේ මුත්‍රා ‘ඒ’ සාම්පලයේ තහනම් උත්තේජකයක් වූ ජැක්-3-මීතයිල් සංඝටකයක් ඇතුළත් වී ඇති බව ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය වෙත දන්වා තිබුණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all