Photobucket

Wednesday, December 12, 2012

රොෂාන් මට මෛත්‍රී කරනවා නම් මේ විදියේ බොරු කතා පතුරවයිද?

 - චතුරිකා  පීරිස්

මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ චතුරිකා  පීරිස්ය. එම සම්මානය පිළිබඳ උණුසුම මැකී යන්නට මත්තෙන් ඇය හා සංවාදයකට එක්වූ අවස්ථාවේදී ඇය ඒ පිළිබඳවත් ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ පැතිරයන කටකතා සම්බන්ධයෙනුත් මෙසේ අදහස් දක්වා සිටියාය.
 
මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත්තේ ඔබයි. ඒ ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?

සම්මානය හිමිවීම ගැන මට ගොඩක් සතුටුයි. ස්වයංජාත ටෙලිනාට්‍යයේ මම රඟපාපු ඒ චරිතයේදී මට වයස අවුරුදු 20 සිට 65 දක්වා දිගහැරෙන චරිතයකුයි නිරූපණය කරන්න සිදුවුණේ. එය බොහොම ප්‍රවේශමෙන් නිරූපණය කළ යුතුව තිබූ චරිතයක්. මම ඒ චරිතය මට හැකි උපරිමයෙන් රඟපෑවා. ඒ නිසා වෙන්න ඇති සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහය නිළියගේ චරිතය මට ලැබුණා වගේම, තවත් සම්මාන උළෙලවල් දෙකකදීත් ඒ චරිතය වෙනුවෙන් මගේ නම නිර්දේශ වුණේ.

හොඳම සහය නිළිය සම්මානය සඳහා ඔබේ නමත් සමග නිර්දේශයේ තිබුණු අනෙක් නිළියන් දෙදෙනාගෙන් ඔබට වඩාත්ම අභියෝගයක් වුණේ කවුරුන් කියලද ඔබ හිතන්නේ?

අපි තුන්දෙනා රඟපාපු චරිත තුන එකිනෙකට වෙනස්. ඒ නිසා මට ඒ ගැන හරියටම කියන්න බැහැ.

ඔබ සහ රොෂාන් පිලපිටිය අතර ප්‍රේම සම්බන්ධය කලා ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි, මුළු රටේම පාහේ ජනතාව අතරේ ප්‍රසිද්ධ කාරණයක්. නමුත් ඒ සම්බන්ධය බිඳී ගොස් ඇති බවට දැන් තොරතුරු පැතිර යනවා. ඒ ආරංචිය ඇත්තක්ද?

ඔව්, ඒක ඇත්ත. නමුත් ඒකට හේතුව රොෂාන් අන්තර්ජාලයේ සඳහන් කරලා තියෙන විදිහේ තුන්වැනි පාර්ශ්වයක බලපෑමක් නිසා නම් නමෛයි.

එහෙනම් ඇත්තටම සිදුවුණේ මොකක්ද?
 
රොෂාන්ගෙයි මගෙයි සම්බන්ධය ඇතිවෙලා දැන් අවුරුදු 9ක් වෙනවා. අපි විවාහ ගිවිසගෙන දැන් අවුරුදු 7ක කාලයක් ගතවෙලා. ඒ අතරතුරේ නොයෙක් නොගැළපීම් නිසා විවිධ අවස්ථාවලදී අපේ සම්බන්ධය ඇතිවෙලා නැතිවෙලා තියෙනවා. දුරින් හිටපු අය නොදන්නවා වුණත් කලා ක්ෂේත්‍රයේ ළඟින් හිටපු ගොඩක් අය අපි වෙන්වුණ බව දන්නවා. දැන් මම ඉන්නේ මගේ දෙමවුපියන්ගේ ගෙදරයි. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 11ක් වෙනවා. රොෂාන් ඇවිල්ලා අවුරුදු 22ක් විතර වෙනවා. ඉතින් ක්ෂේත්‍රයේ අය හොඳට අඳුරනව මම කවුද රොෂාන් කවුද කියලා. මේ විදියට වෙන්වුණු එක ගැන ක්ෂේත්‍රයේ අයත්, ළඟම හිතවතුනුත් මට ආශිර්වාද කරනවා. නමුත් මේ කාරණා හරියට නොදැන, පිට සමාජයේ අය මේ ගැන මට විවිධ දේවල් කියනවා ඇති. ඒත් ඇතුළේ ප්‍රශ්න තියාගෙන බොරුවට පිටට පේන්න විතරක් පවුල් කන්න මට බැහැ.
 
එතකොට ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක සහ ඔබ අතර සම්බන්ධයක් නිසා ඔබේත් රොෂාන්ගේත් සම්බන්ධය බිඳවැටුණා කියලා රොෂාන් කියන කතාව බොරුවක්ද?
ඔව්. මේ සිද්ධිය ගැන රොෂාන් අන්තර්ජාලයේ අදහස් පළකරලා තිබුණට පස්සේ මම ඒ තුන්වැනි පාර්ශ්වයට දුරකථනයෙන් කතා කරලා ඇහුවා ඔයගොල්ලන්ගේ පවුල් ජීවිතය බිඳවැටෙනවා නම් එහෙම වෙන්නේ මම නිසාද කියලා. එතකොට ඔහු කිව්වා මම නිසා නමෛයි ඒ දෙන්නා අතරේ තිබුණු විවිධ ප්‍රශ්න නිසයි එහෙම වෙලා තියෙන්නේ කියලා.

අපේ සංස්කෘතියට අනුව කතාවක් තියනවනේ ‘ගෙයි ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ගෙට ගන්න එපා’ කියලා. මම නම් හැමදාම මගේ ප්‍රශ්න ගෙදර බිත්ති හතර ඇතුළෙමයි තියාගත්තේ. රොෂාන් ගැන කියනවා නම් මට කියන්න තුන්වැනි පාර්ශ්වයන් ඕනෑතරම් තිබුණා. ඒත් මම ඒවා මගේ වාසියකට අරගෙන මාධ්‍යයට කියලා අනුකම්පාවක්, කරුණාවක් ලබාගන්න කවදාවත් උත්සාහ කළේ නැහැ. ඒ වගේම මම ඉදිරියටත් ඒ වගේ දේවල් කරන්න බලා‍පොරොත්තු වෙන්නෙත් නැහැ.

නමුත් රොෂාන්ගේ ප්‍රකාශය නිසා ජනතාව අතරට ගියේ වෙනස්ම කතාවක්?

ඔව්. මීට කලිනුත් කිහිප වතාවක්ම අපේ සම්බන්ධය බිඳුණු අවස්ථාවල අපේ මවුපියෝ මැදිහත් වෙලා තමයි ඒ ප්‍රශ්න නිරාකරණය කෙරුවේ. පසුගිය පෙබරවාරි මාසෙදීත් ඒ වගේ සිද්ධියක් ඇතිවුණා. එතකොටත් ඒ ප්‍රශ්නෙට ඔය තුන්වැනි පාර්ශ්වයක නමක් ගෑවිලාවත් තිබුණේ නැහැ.
ක්ෂේත්‍රයේ තියෙන දැන හැඳුනුම්කම්වලට අනුව ඔහුත් මමත් මිත්‍රයන් පමණයි.

මම රඟපාන චරිත සහ වටපිටාවත් එක්ක මට චෝදනා එල්ල කරන්න තියෙන අවස්ථා ඉතා අඩුයි. එනිසා මට සුළු හෝ චෝදනාවක් එල්ල කරන්න පුළුවන් අවස්ථාවක් බලාගෙනයි රොෂාන් ඉඳලා තියෙන්නේ. ඔහුත් එක්ක ගතකරපු අවුරුදු හතක කාලයේදී අන්තිමට මට ඉතිරි වෙලා තියෙන්නේ කලකිරීමක් විතරයි. මට හිතාගන්න බැරි එක එස්.එම්.එස්. පණිවුඩයකින් මම මේ තරම් සමීපව ඇසුරු කරපු කෙනා මේ විදියට වෙනස් වුණේ කොහොම කියලයි.

ඔබ දෙදෙනාම එක් එක් මාධ්‍යයන් හරහා තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳ මේ විදියට අදහස් ප්‍රකාශ කරද්දී ප්‍රේක්ෂකයන්, එය මොන විදියට බාරගනියිද? මේ පැතිර යන ආරංචි ඔබ දෙදෙනාටම කැළලක් බව සිතෙන්නේ නැද්ද?

කාලයත් එක්ක මේ හැම දෙයක්ම විසඳේවි. තමුන් කරපු දේවල්වල, පව්වල පළවිපාක විඳවන්න වෙන්නේ තමුන්ටමයි. රොෂාන් කරපු කර්මයක් තියෙනවා නම් එයාට විඳවන්න වෙයි. මම කරපු දෙයක් තියෙනවා නම් ඒකේ විපාක මට ලැබේවි. රොෂාන් කියලා තියෙනවා එයා මෛත්‍රී කරනවා කියලා. නමුත් ඒක බොරුවක්. එයා එහෙම කරනවා නම් මං ගැන මේවගේ බොරු කතා අන්තර්ජාලයේ පතුරවන්නේ නැහැනේ.

ඒ වගේම එයා කියලා තියෙනවා එයා මට ගරු කරනවා කියලා. ඔව්. එයාගේ ගෞරවය මට හිමිවෙන්න ඕන ඇති. ඉදිරියේදී මාත් එක්ක වැඩ කරන්න කැමතියි කියලත් එයා කියලා තියෙනවා. ඒත් මම නම් එයත් එක්ක ආයේ එකට වැඩ කරනවද කියන කාරණය දෙපාරක් හිතලා බලනවා. කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න, මේ සිද්ධිය එයා ලස්සනට ‘හැන්ඩ්ල්’  කළා කියලා තිබුණට ඇත්තටම අපිට අනවශ්‍ය විදියට ආවේගශීලී වෙන්න නොදී මාව ඒ අය ළඟට ගන්න තීරණය ගත්තේ මගේ දෙමව්පියෝ. කොහොම වුණත් මං ගැන මේ විදිහේ මඩ ප්‍රචාර ගෙන ගියා කියලා මගේ හිතේ නම් කිසිම තරහවක්, වෛරයක් නැහැ.

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all