Photobucket

Wednesday, December 5, 2012

ඔස්ට්‍රේලියා සිගරට් සමාගම් වළ පල්ලට දමන නීති පනවයි

සිගරට් පැකට්වල පියකරු වෙළෙඳ ලංඡන, අකුරු රටා සහ පාට වර්ග යෙදීම දෙසැම්බර් 01 වැනිදා සිට ඔස්ට්‍රේලියානු රජය විසින් තහනම් කර තිබේ. ඒ වෙනුවට සෑම සිගරට් සමාගමක්ම සිය සිගරට් පැකට් අඳුරු , දුඹුරු පැහැයෙන් මුද්‍රණය කළ යුතු වෙයි. 

 ඒ වගේම සිගරට් පානයෙන් සිදුවන අනතුරු ඉතා අප්‍රසන්න ලෙසින් දක්වන වර්ණ ජායාරූප සමග අනතුරු ඇඟවීම් සිගරට් පැකට්ටුවේ මුද්‍රණය කළයුතු බවට නීති පනවා තිබේ. මෙම අප්‍රසන්න ජායාරූප සිගරට් පැකැට්ටුවේ ඉදිරිපස ඉඩ ප්‍රමාණයෙන් සියයට 75ක ප්‍රමාණයක පැතිරී තිබිය යුතු බවට එම නීති තවදුරටත් බලකර සිටී. ඔස්ට්‍රේලියානු සිගරට් සමාගම් පවසන්නේ චාම් ඇසුරුම් (අඳුරු,දුඹුරු) පැකට් නිසා හොරෙන් පිටරටවලින් සිගරට් ගෙන්වීමට ඉඩ සැලසෙන බවයි. මේ තර්කය ඔස්ට්‍රේලියානු ආණ්ඩුව තුට්ටුවකටවත් ගණන් ගෙන නැත. 

ඒ නිසා බලගතු සිගරට් සමාගම් රජයට විරුද්ධව නඩු පැවරුවේය. වෙළෙඳ ලංඡන බුද්ධිමය දේපොලක් බවත්, එය තහනම් කිරීම බුද්ධිමය ‍දේපොල සොරා ගැනීමක් බවත් පවසා මෙම සමාගම් නඩු පවරා ඇත. මෙම නඩුවෙන් ඩොලර් මිලියන ගණනක නඩු ගාස්තුවක් රජයට ගෙවන ලෙසට උසාවිය සිගරට් සමාගම්වලට නියෝග කළේය. 
 
සිඩ්නි නගරයේ ‘වින්යාර්ඩ්’ දුම්රියපොළේ සිගරට් අලෙවි කුටියක් පවත්වා ගෙන යන ‘සන්ජීඩ් අමයි’ නැමැත්තා අපත් සමග මෙසේ කීවේය. “මගේ ගනුදෙනුකරුවෝ සිගරට් පැකට් ඉල්ලන්නේ ඒකේ තියෙන ෆොටෝ එක ගැන කියලා. කටේ පිළිකාව තියෙන සිගරට් පෙට්ටියක් කෙනෙක් ඉල්ලනවා. මැරිච්ච ළමයා ඉන්න පෙට්ටිය තවත් කෙනෙක් ඉල්ලනවා.” යනුවෙනි. ඔස්ට්‍රේලියානු රජය මීළඟට කරුමානම් අල්ලමින් සිටින නීතිමාලාව ක්‍රියාත්මක වුවහොත් සිගරට් සමාගම්වලට තවදුරටත් එම සමාගම් පවත්වා ගෙන යාම ලාභදායි නොවන ව්‍යාපාරයක් බවට පත්වනු ඇත. 

රජයෙන් පත් කළ ඔස්ට්‍රේලියාවේ වළක්වාගත හැකි රෝග සම්බන්ධ කාර්‍ය මණ්ඩලය (Australia’s Preventive Health Taskforce ) විසින් රජයට නව තාලයේ උපදෙසක් නිර්දේශ කර තිබේ. එනම් සිගරට් පානය නිසා ජනතාවට ඇතිවන ලෙඩ, රෝගවලට පිළියම් කිරීමට වියදම් වන අතිවිශාල මුදල් ප්‍රමාණය සිගරට් සමාගම්වලින් වන්දි වශයෙන් ලබා ගැනීමයි. 

දැන් රජය පවත්වා ගෙන යන කම්කරු පක්ෂය පවසා ඇත්තේ මෙම රෙකමදාරුව රජය ඉතා උනන්දුවෙන් සලකා බලන බවයි. ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය විකල්ප සොයා බලන බවට ද මෙම කාර්‍ය මණ්ඩලය රජයට පොරොන්දු වී තිබේ.
 
සිසිල් ෆොන්සේකා සිඩ්නි නුවර සිට
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all