Photobucket

Wednesday, December 5, 2012

සරසවිවල ස්වාධීනත්වයට හානිවන චක්‍රලේඛ 3ක් සම්පුර්ණයෙන් අහෝසි කරයි

විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වයට හානිදායක වන අයුරින් ක්‍රියාත්මක වු චක්‍රලේඛ තුනක් සම්පුර්ණයෙන් අහෝසි කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

එවැනි තවත් චක්‍රලේඛ දෙකක් ආචාර්යවරුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධනය කිරිමටද පියවර ගෙන ඇත. විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වයට හානිදායක බවට ආචාර්යවරුන් පෙන්වා දී ඇති තවත් චක්‍රලේඛ දෙකක් සම්බන්ධයෙන් සලකා බැලීමට මහා භාණ්ඩාගාරයට හා කම්කරු කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබේ.

විශ්වවිද්‍යාල හා උසස් තාක්ෂණ ආයතනවලට මාධ්‍යවේදීන් ඇතුළුවීම වළක්වාලමින් 2010 වසරේ නිකුත් කර ඇති ලිපියත්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන 956 චක්‍රලේඛයත්, තේරීම් කමිටු සඳහා නාමයෝජනා ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන 991 චක්‍රලේඛයත් මේ අනුව සම්පුර්ණයෙන් අහෝසි කර තිබේ.

ආචාර්යවරු වැඩවර්ජනය කරන කාලවලදී වැටුප් ලබා නොදීමට නිකුත් කර ඇති 890 දරණ චක්‍රලේඛයද ඉවත් කරන ලෙස ආචාර්යවරුන් ඉල්ලීමක් කර ඇතත් නීතිමය තත්ත්වය අනුව එය ඉවත් කිරිම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ආචාර්යවරුන්ට දැනුම් දී තිබේ.

මෙම චක්‍රලේඛ අහෝසි කිරීම හා ආචාර්යවරුන්ගේ සේවය විශේෂිත සේවයක් ලෙස ස්ථාපිත කිරිම සම්බන්ධව ලබා දුන් පොරොන්දුව පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පෙරේදා (03) පැවැත්විණි.
වැඩවර්ජනය කරන කාලවල දී වැටුප් ලබා නොදීමට අදාළ චක්‍රලේඛය සමස්ත රාජ්‍ය සේවකයින්ටම බලපාන බැවින් එම චක්‍රලේඛය ඉවත් කළ නොහැකි බව ලේකම්වරයා මෙහිදි පැවසු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

ආචාර්යවරුන්ගෙ‍් සේවය විශේෂ සේවයක් ලෙස ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ කමිටුව පිහිටුවිම සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමිති සම්මේලනයට දන්වා තිබුණු බවත් ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව් ජයතිලක හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්න බණ්ඩාර මහත්වරුන්ගේ නම් ඒ සඳහා ලබා දුන් බවත් මදුජිත් මහතා කීවේය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය අතර පෙරේදා පැවැති සාකච්ඡාවේ ප්‍රගතියක් පවතින බව කී ඒ මහතා ඉදිරියටත් මාස දෙකකට වරක් ලෙස රැස්වී ආචාර්යවරුන්ගේ හා විශ්වවිද්‍යාලවල ගැටලු සාකච්ඡා කිරීමට ද පෙරේදා එකඟතාවක් ඇති වු බවද කීය.

සමන්මලී ප්‍රියශාන්ති
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all