Photobucket

Wednesday, December 5, 2012

තේරීම් කමිටුවක්‌ නැති මලල ක්‍රීඩා සංගමයක්‌ කුමටද?

ජාතික ක්‍රීඩා සභාව ඇමැති නියෝගය පැහැර හරියි

ජාතික සහ ජාත්‍යන්තර මතභේද රැසකට මුල පුරමින්, ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ මැදිහත්වීම මත තෝරා පත්කර ගන්නා ලද මේජර් ජනරාල් දයාරත්නායකගේ සභපාතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පඹයෙක්‌ද නැතහොත් පඹ ගාලක්‌ද යන්න තීරණය කරගත නොහැකි තත්ත්වයක්‌ දැන් නිර්මාණය වී ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකා අභිවෘද්ධිය පතා රාජ්‍ය බලපෑම් මධ්‍යයේ පිහිටුවා ගන්නා ලද අදාළ සංගමයේ මූලික කාර්යභාරය එම ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ජාත්‍යන්තර වේදිකාව විවෘත කරදීම වුවද, සංගමයේ ප්‍රධාන ශාඛාවක්‌ වන තේරීම් කමිටුව පුරා මාස හතරකට ආසන්න කාලයක්‌ ස්‌ථිර නොකිරීමත්, පත් කරනු ලබන සභාපතිවරු ඉල්ලා අස්‌වීමත් හේතුවෙන්ද එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එතෙර තර සංචාර සඳහා දැන් වැට බැදී ඇත.

කොළඹ පැවැති ආසියානු ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සමයේ නියෝජ්‍ය පොලිස්‌පති උපාලි කුමාරසිරිගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවක්‌ පත් කරන ලදී. එහෙත්, කුමාරසිරි මහතා සිය රාජකාරි කටයුතු හුවා දක්‌වමින් සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූ අතර ඒ වෙනුවට ප්‍රවිණ මලල ක්‍රීඩකයකු වූ කෝසල සහබන්දු පත්කළද, ඔහුද පසුව එම තනතුර ප්‍රතික්‍ෂේප කළේය.

මේ අනුව, ඉකුත් 24 දින ක්‍රීඩා ඇමැතිගේ අනු දැනුමද සහිතව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ජාතික ක්‍රීඩා සභාව ඒකාබද්ධව නව තේරීම් කමිටුවක්‌ පත් කරන ලදී. ලාල් චන්ද්‍රකුමාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව කමිටුව පත්වී එය අනුමැතිය සඳහා අමාත්‍යංශයට ඉදිරිපත් කළ යුතුව ඇතත්, ජාතික ක්‍රීඩා සභාව මේ වන තෙක්‌ එම නාම ලේඛනය අමාත්‍යංශයට ඉදිරිපත් කර නොමැති බව අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තේරීම් කමිටු අර්භූදය හේතුවෙන් දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එතෙර තරග රැසක්‌ මේ වන විටද අහිමි වී ඇත.

ආසියානු මැරතන් තරගාවලිය, පූනේ මැරතන් තරගාවලිය, මකාව් මලල ක්‍රීඩා විවෘත ශූරතාව, චීන තායිපේ විවෘත මලල ක්‍රීඩා ශූරතාව, සිංගප්පූරු මැරතන් තරගය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එසේ අහිමි වූ ජාත්‍යන්තර තරග කිහිපයකි.

ලාල් චන්ද්‍රකුමාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව අනුමැතිය සඳහා තම අමාත්‍යංශය එවන්නැයි ඇමැතිවරයා විසින් ඉකුත් 24 දා පැවැති තේරීම් කමිටුව තේරීමේ රැස්‌වීමේදී ජාතික ක්‍රීඩා සභාවට උපදෙස්‌ දී ඇතත් එම උපදේශය පැහැර හැරීම මගින් ඇමැතිවරයා විසින්ම පත් කරන ලද තේරීම් කමිටුව ඇමැතිටත් ඉහළින් කටයුතු කරන බව මෙමගින් පැහැදිලිවන්නේ යෑයි ක්‍ෂේත්‍රයේ සඳහන් වේ.

අසෝක ගුණතිලක
දිවයින ඇසුරින් පලකරන ලදී.  
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all