Photobucket

Saturday, December 1, 2012

රාජ්‍ය මූල්‍ය අර්බුදය සහ බදු ගෙවන ජනතාව

ඉලක්‌ක කළ රාජ්‍ය ආදායම් අඩුවීමත්, ප්‍රාග්ධන වියදම් ප්‍රශස්‌ත මට්‌ටමක පවතින අතරතුර රජයේ පුනරාවර්තන වියදම් (එදිනෙදා වියදම්) ඉහළ යැමත් නිසා මේ වසරේ (2012) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අභියෝගාත්මක තත්ත්වයට පත්ව ඇති බව වසරේ පළමු මාස හතේ (ජනවාරි - ජුලි) දී අත්කර ගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵල සහ ඉදිරි මාසවල පුරෝකථනයන් මගින් පැහැදිලි වන කාරණයකි. නිවසක්‌ ගත්තත් අපේක්‍ෂා කරන ආදායම් අඩුවන අතරතුරම ගෙදර එදිනෙදා වියදම් ඉහළ යනවා නම් ඇති වන තත්ත්වය අපට සිතාගත හැකිය. එහිදී අපට වියදම් පියවා ගැනීම පිළිබඳ බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවෙයි. එම වියදම් පියවා ගැනීමට අලුතින් ණය වීමට ද සිදුවෙයි. මෙවැනි වාතාවරණයකට රජය මේ මොහොතේ මුහුණදී සිටින අතර මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් ඇතිව තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වයයි.
සාමාන්‍යයෙන් බොහෝ විට බලධාරීන් පවසන්නේ පසුගිය වසරට වඩා සලකා බලන වර්ෂයේ රජයේ ආදායම් ඉහළ ගොස්‌ ඇති බවයි. ඒ අනුව බැලුවොත් මේ වසරේ (2012) පළමු මාස හත තුළදී රැස්‌ කළ මුළු රාජ්‍ය ආදායම ගිය වසරේ (2011) එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 494 සිට රු. බිලියන 556 ක්‌ දක්‌වා වැඩිවී ඇත. මෙය රාජ්‍ය ආදායම සියයට 12.6 කින් වර්ධනය වීමකි. මුළු රාජ්‍ය ආදායම සමන්විත වන්නේ බදු ආදායම සහ බදු නොවන ආදායම යන ප්‍රධාන අයිතම දෙකෙනි. මේ අනුව බදු ආදායම සියයට 11.9 කින් සහ බදු නොවන ආදායම සියයට 17.4 කින් ද මේ කාලපරිච්ඡේදයේදී වර්ධනය වී ඇත. එහෙත් මෙහිදී ඇත්ත වශයෙන්ම අප සලකා බැලිය යුත්තේ එය නොව ඉලක්‌ක කළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත පරිදි රැස්‌ කිරීමට අප සමත් වූවාද යන්නයි. ඒ අනුව බැලුවොත් අපේක්‍ෂිත ආදායම් රැස්‌ කිරීම අඩුවී තිබෙන බව මේ වසරේ මුල් මාස හතේ රාජ්‍ය ආදායම් දත්ත පරීක්‍ෂා කිරීමේදී පැහැදිලි වේ. 2012 වර්ෂය සඳහා අයවැයෙන් අනුමත ඇස්‌තමේන්තු ගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 1,106.1 කි. මේ ඉලක්‌කයෙන් ඉකුත් ජුලි මාසය වන විට අපට උපයා ගැනීමට හැකිව තිබෙන්නේ රු. බිලියන 556 ක ආදායමකි. මේ රැස්‌ කළ ආදායම 2012 වසර සඳහා වූ ආදායම් ඇස්‌තමේන්තුවෙන් සියයට 50.3 ක්‌ පමණි. විශේෂයෙන් ආනයන වර්ධනය අඩුවීම, දේශීය ආර්ථික කටයුතු මන්දගාමී වීම සහ ගිය වසරේ (2011) දී එකතු කළ අගය මත බදු (වැට්‌) අනුපාත අඩු කිරීම යන කරුණු කාරණා වැට්‌ ආදායම අඩුවීමට හේතු වී තිබේ. පසුගිය අයවැයෙන් ඇස්‌තමේන්තු කර තිබුණේ එකතු කළ අගය මත බද්දෙන් (වැට්‌) රු. බිලියන 264.9 ක්‌ මේ වසරේදී උපයා ගැනීමටයි. එහෙත් එම ආදායමින් වසරේ පළමු මාස හත තුළ උපයා ගැනීමට හැකිවී ඇත්තේ රු. බිලියන 122.9 ක්‌ පමණි. අනිත් බොහෝ බදු වර්ග සම්බන්ධයෙන් ද මෙවැනිම තත්ත්වයක්‌ පවතින අතර මේ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස රජයේ ආදායම සියයට 7.6 සිට සියයට 7.4 දක්‌වා (ජනවාරි - ජුලි කාලය තුළ) පහත වැටීම ද සිදුව තිබේ.

මීළඟට අප සලකා බැලිය යුත්තේ රාජ්‍ය වියදමට කුමක්‌ සිදුවී තිබේ ද යන්නයි. මේ වසර (2012) සඳහා අයවැයෙන් අනුමත වූ පුනරාවර්තන වියදම් ඇස්‌තමේන්තුව රු. බිලියන 1,107.9 ක්‌ වූ අතර ඉකුත් ජුලි මස අවසන් වන විට රජය විසින් රු. බිලියන 695.3 ක පුනරාවර්තන වියදමක්‌ දරා තිබිණි. මේ අනුව පළමු මාස හත වන විට අනුමත ඇස්‌තමේන්තුගත පුනරාවර්තන වියදමෙන් සියයට 63 ක පමණ ප්‍රමාණයක්‌ වියදම් කර තිබිණි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස පුනරාවර්තන වියදම පසුගිය වසරේ (2011) එම කාලයේදී (ජන-ජුලි) වාර්තා වූ සියයට 8.9 සිට මේ වසරේ (2012) එම කාලයේදී සියයට 9.3 දක්‌වා වැඩි විය. මේ කාලය තුළ පුනරාවර්තන වියදමේ වැඩිවීම රු. බිලියන 113 කි. එනම් රු. කෝටි 11,300 කි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රාජ්‍ය ණය පොලී වියදම් ඉහළ යැමයි. ණය පොලී වියදම පසුගිය වසරේ මුල් මාස හතට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස හතේදී රු. බිලියන 256.8 ක්‌ දක්‌වා රු. බිලියන 47.8 කින් (රු. කෝටි 4,780 කින්) ඉහළ ගියේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ කියයි.
 
 "රජයේ සුරැකුම්පත් සඳහා දේශීය වෙළෙඳපොළෙහි පැවැති පොලී අනුපාතිකයන් ඉහළ යැම, කෙටිකාලීන භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කිරීම ඉහළ යැම සහ ශ්‍රී ලංකා රුපියල ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්‍ෂව අවප්‍රමාණය වීම යනාදී කරුණු හේතුවෙන් පොලී වියදම් 2011 පළමු මාස හත තුළ වාර්තා වූ සියයට 0.6 ක වැඩිවීමට සාපේක්‍ෂව සලකා බලන කාලපරිච්ඡේදය තුළදී සියයට 22.9 කින් වැඩි විය."

තවද මේ කාලය තුළ වැටුප් හා වේතන වියදම් සියයට 3.1 කින් ද, විශ්‍රාම වැටුප් ගෙවීම් සියයට 15 කින් සහ පොහොර සහනාධාර වියදම් සියයට 40 කින් ද වැඩි විය. එසේම සමෘද්ධි ඇතුළු වෙනත් සුබසාධන වියදම් ද මේ කාලය තුළ ඉහළ ගියේය. මේ අනුව සියයට 19.4 ක්‌ වැනි ඉහළ ප්‍රතිශතයකින් අදාළ කාලය තුළ පුනරාවර්තන වියදම් ඉහළ ගොස්‌ තිබේ. එසේම ප්‍රාග්ධන වියදම් හා ශුද්ධ ණයදීම් ගිය වසරේ (2011) මුල් මාස හතේදී වාර්තා වූ රු. බිලියන 202.2 සිට මේ වසරේ මුල් මාස හතේදී රු. බිලියන 286.8 දක්‌වා ඉහළ ගියේය. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 3.1 සිට 3.8 දක්‌වා වැඩිවීමකි. මේ අනුව ශුද්ධ ණය දීම් ඇතුළත් රජයේ මුළු වියදම වසරේ මුල් මාස හතේදී රු. බිලියන 982.1 ක්‌ දක්‌වා ඉහළ ගිය අතර ගිය වසරේ (2011) එම අගය රු. බිලියන 784.5 කි. මේ අනුව මුළු වියදම මේ කාලය තුළ සියයට 25.2 කින් ඉහළ ගොස්‌ ඇති අතර එය මේ වසර (2012) සඳහා අපේක්‍ෂිත මුළු වියදමින් සියයට 62.8 කි.

මේ අනුව සිදුව ඇත්තේ අදාළ කාලය තුළ අය-වැය හිඟය තවත් ඉහළ යැමයි. අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස ගිය වසරේ මුල් මාස හතේදී වාර්තා වූ සියයට 4.4 සිට මේ වසරේ මුල් මාස හතේදී සියයට 5.6 ක්‌ දක්‌වා ඉහළ ගියේය. මුදල් වටිනාකම අය-වැය හිඟය රු. බිලියන 284.4 සිට රු. බිලියන 417.3 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මේ කාලය තුළ රජයේ ආදායම් හිඟය (රජයේ ආදායම සහ පුනරාවර්තන වියදම අතර පරතරය) ද ඉහළ ගොස්‌ ඇත. අප විසින් ලිපිය ආරම්භයේදීම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මේ වනවිට අභියෝගාත්මක තත්ත්වයට පත්ව ඇතැයි කීවේ මේ සියලු කරුණු කාරණා අනුවය.

මේ සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ මෙසේ සඳහන්ය.

"වසරේ මුල් මාස අට තුළ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය මගින් පිළිබිඹු වන්නේ ආදායම් ලැබීමේ ප්‍රමාදයන් සහ කලින් වියදම් කිරීමට සිදුවී ඇති තත්ත්වයන්ය. එම නිසා වසරේ ඉතිරි කාල සීමාව තුළ ඉහළ ආදායම් වර්ධනයක්‌ හා වියදම සාමාන්‍ය මට්‌ටමින් පවත්වා ගැනීමත් අපේක්‍ෂා කරන අතර සමස්‌තයක්‌ ලෙස වසර තුළ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ද. දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අපේක්‍ෂිත සියයට 6.2 ක අය-වැය හිඟය පවත්වාගත හැකිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ."

පසුගිය කාලයේදී රාජ්‍ය අංශයට සිදු කළ විශාල බඳවා ගැනීම් හේතුවෙන් රජයේ වැටුප් වියදම් දිගින් දිගටම ඉහළ ගොස්‌ තිබේ. රාජ්‍ය සේවක වැටුප් වියදම පමණක්‌ මුළු පුනරාවර්තන වියදමෙන් සියයට 32.7 ක්‌ තරම් ඉහළ අගයක්‌ දක්‌වා වර්ධනය වී ඇත. උපාධිධාරීන්ට රාජ්‍ය අංශයට බඳවා ගැනීම පිළිබඳව ද රජයට හරි ප්‍රතිපත්තියක්‌ නැත. එසේ නැතහොත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ සියලු රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය අංශයේම රැකියා ලබාදීම විය යුතුය. එනම් උපාධිධාරීන් රාජ්‍ය අංශයට බඳවා ගනු ලබන්නේ රාජ්‍ය අංශයේ අවශ්‍යතාවට වඩා, උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට බවයි. මේ තුළින් සිදුව ඇත්තේ බදු ගෙවන අතිමහත් බහුතර ජනතාව මත පැටවෙන බර දිගින් දිගටම වර්ධනය වෙමින්, තමන් ස්‌වශක්‌තියෙන් නැගී සිටිනවා වෙනුවට උපාධිධාරියා රජයෙන් රැකියා යදින්නකු (Job seeker) බවට පත්වීමයි. එවැනි දුර්වලයකු බවට උපාධිධාරියා පත් කරනවා වෙනුවට රජය කළ යුත්තේ තමන්ටම රැකියාවක්‌ සොයාගත හැකි සහ වෙනත් අයට ද රැකියා සැපයිය හැකි (Job Provider) කුසලතාවලින් යුත් ඉහළ ගුණාත්මක උපාධිධාරියකු බිහි කිරීමයි. එවැනි ආකාරයට රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිවර්තනය කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ සිදු කිරීමයි. අනිත් අතට අද රාජ්‍ය සේවකයන් කෙතරම් වැඩිවී තිබුණත් රාජ්‍ය ආයතනයකට ගිහින් පහසුවෙන් වැඩක්‌ කරගත හැකිද? ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තමන් හමුවට සේවයක්‌ සලසා ගැනීමට එන ජනයා ගැන කිසිදු හැඟීමක්‌ නැත. නිලධාරී උණ හිස මුදුනට ගනිමින් තමන්ට පඩි ගෙවන ජනතාවට ගෑස්‌ පෙන්වමින් කටයුතු කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසා සිදුව ඇත්තේ ජනතාව තව තවත් පීඩාවට පත්වීමයි. මෙවැනි ආකාරයට රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව සහ ඵලදායීතාව වර්ධනයට තුඩු නොදෙන රාජ්‍ය අංශයේ ප්‍රසාරණයකින් ජනතාවට සිදුවන සෙතක්‌ නැත. සිදුවන්නේ ජනතාව මත තව තවත් බර පැටවීම පමණකි. ඒ නිසා අද දිනයේ අවශ්‍ය වන්නේ ඕනෑවට වඩා විශාල, ආකාර්යක්‍ෂම, ජනතාව මත බර පටවන රාජ්‍ය අංශයක්‌ නොව කුඩා වුවත් ජනතාවට සේවය කිරීමට කැපවී සිටින දක්‍ෂ හා කාර්යක්‍ෂම රාජ්‍ය අංශයකි. එය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ද පහසුවකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all