Photobucket

Saturday, December 1, 2012

බංග්ලාදේශය කඩුලු 7කින් කොදෙව් පිල පරදවයි

ටමිම් ඉක්බාල් හා නයීම් ඉස්ලාම් ගේ අර්ධ ශතක සහ සොහාග් ගාසි ගේ කඩුලු හතර මත බංග්ලාදේශය කුල්නාහිදී ඊයේ පැවැති පළමු ජාත්‍යන්තර එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළේය.

ඉක්බාල් හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමග පන්දු 51කින් ලකුණු 58ක් රැස්කළ අතර ඉස්ලාම් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය. සත්කාරක බංග්ලාදේශය ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කය තරගයේ තවත් ඕවර 9යි පන්දු 2ක් ඉතිරිව තිබියදී සපුරා ගත්තේය.

ගාසි ලකුණු 29කට කඩුලු 4ක් ලබා ගත් අතර මෙය බංග්ලාදේශ පන්දු යවන්නෙක් මංගල එක්දින තරගයක වාර්තා කළ හොඳම පන්දු යැවීම විය. ඔහුගේ මේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව්වෝ ලකුණු 199කට දැවී ගියහ.

ඉක්බාල් හා අනාමුල් හක් (41) ආරම්භක කඩුල්ල වෙනුවෙන් 88ක සබඳතාවක් ගොඩනැගූහ. ඉක්බාල් එක් ඕවරයකදී කොදෙව් වේග පන්දු යවන කෙමාර් රෝච් ට හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කරමින් සිය 24 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. 

හක් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් එල්ල කළේය. සිය පන්දු 79ක ඉනිමේ හතරේ පහර 6ක් එල්ල කළ ඉස්ලාම්, නසිර් හුසේන් (28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කළහ. ඊට පෙර, 21 හැවිරිදි පිට දඟ පන්දු යවන ක්‍රීඩක ගාසි ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි පන්දුවෙන්ම ක්‍රිස් ගේල් දවාලමින් කොදෙව් පිල අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.

දෙවැනි ඕවරයේදී ගාසි, මාලන් සැමුවල්ස් (0) දවාලීය. කෙසේ වෙතත් ගේල් දැවී යාමට පෙර හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් එල්ල කරමින් ලෙන්ඩ්ල් සිමන්ස් (13) සමග ලකුණු 48ක ආරම්භයක් ලබා දුන්නද දඟ පන්දු යවන්නන් පැමිණි වහාම පිතිකරුවෝ අසීරු තත්ත්වයට පත්වූහ. කොදෙව් පිල ලකුණු 150කට අඩුවෙන් දැවී යාමේ අනතුරට ලක්ව සිටියදී නාරයින් කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු (36) ලබා ගනිමින් රවි රාම්පෝල් (25) හා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කරමින් මුළු ලකුණු ප්‍රමාණය ඉහළට ගෙන ආහ. 

කුල්නා (ඒ.එෆ්.පී.)
දිනමිණ ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all