Photobucket

Wednesday, December 5, 2012

අලුත් කඩේ උසාවිය අසල විරෝධතා

ව්‍යවස්ථාදායකයට අභියෝග නොකර ජනතා පරමාධිපත්‍යය සුරකින්න
* පාර්ලිමේන්තුවට බලපෑම් එපා
* ඈත ගම් දනව්වල වැසියෝත් එති
* විරෝධතා පුවරු රැසක්

ව්‍යවස්ථාදායකයට අභියෝග නොකර ජනතා පරමාධිපත්‍යය සුරකින ලෙස ඉල්ලමින් අලුත් කඩේ උසාවි සංකීර්ණය අසල ඊයේ (4) දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ‍එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය විමර්ශනය කිරීමට විශේෂ කාරක සභාවක් පත් කර එය විමර්ශනය වන මේ මොහොතේ වෙනත් අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සාහ දරන අයගේ කුමන්ත්‍රණ පරාජය කළ යුතු බව පවසමින් මෙහිදි ජනතාව උද්ඝෝෂණයේ නිරත වුහ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ (04) මේ විශේෂ කාරක සභාවට පැමිණි අවස්ථාවේ උසාවි සංකීර්ණය දෙපස රැස්ව සිටි ජනතාව විවිධ සටන් පාඨ පවසමින් පැය කිහිපයක් පුරා උද්ඝෝෂණයේ යෙදුණහ‍.

වංචා දූෂණ සිදු කරන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ජනතා පරමාධිපත්‍යය රැක ගැනීමට ක්‍රියා කරන පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙන බවත් පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට අධිකරණයට කිසිදු බලයක් නොමැති බවත් මෙහිදි අදහස් දැක්වු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා ප්‍රකාශ කළේය.

අද ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාදායකයට අභියෝග නොකර ජනතා පරමාධිපත්‍යය රකින ලෙසත් කී ඒ මහතා, කාරක සභාවක් පත් කර කිසියම් පුද්ගලයකුගේ වැරදි හෝ නිවැරදිභාවය සෙවීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබෙන බවත් කීය.

මේ කාරක සභාවෙන් පසු අගවිනිසුරුවරියගේ හරි වැරදි සොයා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් උඳුගොඩ මහතා පැවැසීය. කරුණු කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක කටයුතුවලට අතදාන්නට බලයක් හෝ අයිතියක් අධිකරණයට නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජනතා ‍අකමැත්ත පෙන්වීමට මේ උද්ඝෝෂණය පැවැත්වෙන බවත් කීවේය.

ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක් ධර්මසිරි කිටෝ මහතා - අද මේ උද්ඝෝෂණයටඈත ගම් දනව්වල ජනතාවත් පැමිණ සිටිනවා. විශේෂයෙන් හොරොව්පතාන,කහටගස්රිකිලිය, ගලිගමුව වැනි පළාත්වල ජනතාව පැමිණ සිටිනවා. මේ ජනතාව වසර තිහක් යුද්ධයෙන් බැට කෑවා. නැවත වරක් රට එවැනි තත්ත්වයකට පත් වේ යැයි ජනතාව අතර බියක් තිබෙනවා. ඒ බිය නැති කර ජනතාව බේරා ගන්නැයි අද අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. 

ජනතා පරමාධිපත්‍යය සුරකිමු, ව්‍යවස්ථාදායකයට අත නොතබනු, අගවිනිසුරුතුමියනි ගෙදර යන්න ආදී වශයෙන් වු විවිධ පෝස්ටර්, බැනර් හා කටවුට් ප්‍රදර්ශනය කරමින් ජනතාව විශේෂ කාරක සභාවට සහභාගීවීමට පැමිණි අගවිනිසුරුවරිය නැවත පැමිණෙන මාර්ගය දෙපස රැඳී සිටිමින් සාමකාමීව දිගින් දිගටම උද්‍ඝෝෂණයේ නියැළී සිටියහ.

මේ උද්ඝෝෂණයට දිවයිනේ සියලුම පළාත් සභා, ප්‍රාදේශිය සභා මැති ඇමැතිවරු, ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවක සේවිකාවන්, අලෙවි නියෝජිතවරු, සියලු පළාත් නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

සමන්මලී ප්‍රියශාන්ති සහ නුවන් සංජීව
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all