Photobucket

Monday, December 10, 2012

තියුණු සටනකින් පසු ශූරතාව මාලදිවයිනට

මාලදිවයින ගෝල් 2යි - පාකිස්තානය ගෝල් 1යි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කෙරුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අවු. 23න් පහළ සිව්කොන් පාපන්දු තරගාවලියේ මාලදිවයින සහ පාකිස්තානය අතර අවසන් මහා සටනින් ගෝල් 2-1ක  ජයක් ලැබූ මාලදිවයින “මහින්ද රාජපක්ෂ කුසලානය” දිනා ගැනීමට සමත් විය.

තරග ආරම්භයේ සිටම දෙපි‍ලේම ක්‍රීඩකයින් තියුණු සටනක යෙදුණු අතර, පළමු භාගය නිමාවන විට දෙපිලටම ගෝල රැස් කර ගැනීමට නොහැකි වූහ. 

තරගයේ 28 වෙනි විනාඩියේදී මාලදිවයින නායක අදාම් හසන් පාකිස්තානු දැල වෙත එල්ල කළ ප්‍රහාරයත්, 34 වෙනි විනාඩියේදී පාකිස්තානු ක්‍රීඩක ෂියා වුල් සල්මාන් විසින් මාලදිවයින් දැල වෙත එල්ල ප්‍රහාරයත් දෙපි‍ලේම ගෝල් රකින්නන්ගේ දක්ෂතාවයෙන් වැලකී ගියේය.

ප්‍රථම භාගයේ අවසන් විනාඩියේදී මාලදිවයින් ක්‍රීඩක ඉමාස් අහමඩ් පාකිස්තානු දැල වෙත එල්ල කළ පහර පාකිස්තානු දැල් රකින්නා වූ සකූබ් හනීෆා විසින් දක්ෂ ලෙස රැක ගත්තේය.

දෙවන භාගයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ මාලදිවයින් ක්‍රීඩකයින් 53වන විනාඩියේදී වහීඩ් රිල්වාන් එල්ල කළ පහරින් මාලදිවයිනට ප්‍රථම ගෝලය හිමි විය. ඉන් අනතුරුව 57 වන විනාඩියේදී අබ්දුල් අසදුල්ලා විසින් පාකිස්තානයට එරෙහිව දෙවන ගෝලයද වාර්තා කරමින් මාලදිවයින ප්‍රබල තත්ත්වයකට රැගෙන ආවේය.

තරගයේ 87වන විනාඩිය කාගේත් අවධානය දිනාගත් උද්වේගකර අවස්ථාවක් වූ අතර, එහිදී මාලදිවයිනට එරෙහිව දඬුවම් පහරක් එල්ල කිරීමට පාකිස්තානයට හිමි විය. පාකිස්තානු ක්‍රීඩක ෂහීඩ් අහමඩ් එල්ල කළ ප්‍රහාරය මාලදිවයින් දැල අසලම සිටි ක්‍රීඩකයකුගේ පාදයේ වැදී බෝලය ගෝලය වෙත ඇදී ගියේය. ඒ අනුව තරගයේ ගෝල් තත්ත්වය 2-1ක් ලෙස සටහන් විය.

ජයග්‍රාහී මාලදිවයින කණ්ඩායමට ශූරතා කුසලාන සමග ඇමෙරිකානු ඩොලර් 15,000ක මුදලක් හිමිවූ අතර, පාකිස්තානයට අනුශූරතා කුසලාන සමග ඇ.ඩො. 10,000ක මුදලක් හිමි විය.

මෙම තරගාවලියේ අවසන් මහ සටන නැරඹීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මාලදිවයින ක්‍රීඩා අමාත්‍ය හුසේන් ෂෆීස්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර, නාවලපිටිය නගරාධිපති නිශාන්ත රණසිංහ, පස්බාගේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඕ.ජී. රෝහණ බණ්ඩාර යන මහත්වරුද පැමිණ සිටියහ.

මෙම තරගාවලිය ලබන වසරේදී මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතයි.
 
අනුර දිසානායක, නාවලපිටිය විශේෂ
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all