Photobucket

Thursday, January 10, 2013

උප සභාපතිවරු 5 දෙනෙක්‌ වසරේ ප්‍රථම විධායක කමිටු රැස්‌වීම

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ (8 දා) පැවැති 2013 වසරේ ප්‍රථම විධායක කමිටු සැසියට එහි ප්‍රවීණ නිලධාරීන් බහුතරයක්‌ම සහභාගි වීමෙන් වැළකී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායකගේ ප්‍රධානත්වයෙන් අදාළ විධායක කමිටු සැසිය පැවැති අතර මලල ක්‍රීඩා සංගමයේ විධායක කමිටුවට අයත් නිලධාරීන් 12 දෙනාගෙන් සහභාගි වී ඇත්තේ නිලධාරීන් 6 දෙනකු පමණක්‌ බව ද සඳහන් වෙයි. මෙවැනි සිද්ධියක්‌ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලන ඉතිහාසයේ වාර්තා වූ ප්‍රථම අවස්‌ථාව ද වනු ඇත.

මලල ක්‍රීඩා සංගමයට අයත් උප සභාපතිවරයාවරුන් 6 දෙනාගෙන් 5 දෙනකුම පෙරේදා පැවැති විධායක කමිටු සැසිය කිසිදු පූර්ව දැන්වීමකින් තොරව වර්ජනය කිරීම විශේෂත්වයකි.

වත්මන් මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරුන් වන සුනිල් ජයවීර, ටී. එම්. දේවේන්ද්‍ර, ගුවන් කොමදෝරු අජිත් අබේසේකර, සුසන්තිකා ජයසිංහ සහ එච්. ඩබ්. නිමල්සිරි යන මහත්වරු මෙම විධායක කමිටු සැසියට සහභාගි නොවූ අතර ඊට අමතරව සහකාර ලේකම් බර්නාඩ් පෙරේරා මහතා ද සහභාගි වීමෙන් වැළකී ඇත.

අදාළ සැසියට සහභාගි වී ඇත්තේa මේජර් ජෙනරාල් දයා රත්නායක (සභාපති), රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු (ලේකම්), අජිත් නාරගල (උප සභාපති), චන්දන ඒකනායක (භාණ්‌ඩාගාරික), ඔලිවර් ප්‍රනාන්දු (සහකාර භාණ්‌ඩාගාරික) සහ ජී. ජී. යූ. සමන් කුමාර (තරග නිල සටහන්කරු) යන මහත්වරු පමණි.

මලල ක්‍රීඩා විධායක කමිටුවේ වර්ජිත නිලධාරීන් හයදෙනා අදාළ සැසියට සහභාගි වීමෙන් වැළකී ඇත්තේ කිසිදු හේතුවක්‌ නොදන්වා වීමද කැපී පෙනිණි.

අදාළ විධායක සැසිය වර්ජනය කළේ යෑයි කියන මලල ක්‍රීඩා උප සභාපතිවරයකුගෙන් ඊට හේතුව කුමක්‌දැයි "දිවයින" කළ විමසුමකදී වත්මන් පරිපාලනය ගෙන යන හිතුවක්‌කාර ක්‍රියා පටිපාටිගතව විරෝධයක්‌ වශයෙන් තමා සහභාගි නොවූ බව පැවසීය.

නිලධාරීන් හරි අඩක්‌ම විධායක කමිටු සැසියට සහභාගි නොවීම සම්බන්ධව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක සහ ලේකම් රියාර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාගෙන් "දිවයින" දුරකථන මගින් ඊයේ (9 දා) විමසීමට උත්සාහ කිරීමේදී ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබිණි.

නිලවරණය

2013 වසරට නව නිලධාරි මණ්‌ඩලයක්‌ පත් කර ගැනීමේ නිලවරණය සහ මහා සභා රැස්‌වීම ලබන මාර්තු 29 දා පෙරවරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැන් තීරණය කොට ඇත.

අර්බුදයකට තුඩු දී ඇති මලල ක්‍රීඩා ව්‍යවස්‌ථාව නව සංශෝධන කෙටුම්පත ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට යොමු කිරීමෙන් අනතුරුව සම්මත කොට ගෙන 2013 මලල ක්‍රීඩා නිලවරණය පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය උපදෙස්‌ දී ඇතත් මෙතෙක්‌ ව්‍යවස්‌ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් කිසිදු තැකීමක්‌ කර නැතැයි ද වාර්තා වෙයි.

මේ අතර මලල ක්‍රීඩා ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම සම්බන්ධව වගකීම පවරා තිබූ උප සභාපතිවරයා අදාළ කටයුත්තෙන් ඉවත් කිරීමට ද මලල කීSS්‍රඩා බලධාරීන් තීරණය කොට ඇති බව සඳහන් වෙයි. එම කටයුත්ත අජිත් අබේසේකර මහතාට පවරා තිබිණි. හෙතෙම ව්‍යවස්‌ථාවට අදාළ කිසිදු කාර්යයක්‌ සිදු කොට නැතැයි මලල ක්‍රීඩා බලධාරීහු පවසති.

නිලවරණය

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට අනුබද්ධිත සියලුම දිස්‌ත්‍රික්‌ සංගම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති මලල ක්‍රීඩා බලධාරීන් ඒ අනුව එක්‌ සංගමයකට රු. ලක්‍ෂය බැගින් පිරිනැමීමට තීරණය කොට තිබේ.

දිස්‌ත්‍රික්‌ සංගම් 39 ක්‌ දැනට සකීSS්‍රය හා අක්‍රීය මට්‌ටමින් ක්‍රියාත්මක වන අතර එම සියලුම දිස්‌ත්‍රික්‌ සංගම්වල ක්‍රියාකාරීත්වය නොසලකා අදාළ අනුග්‍රාහක මුදල් ප්‍රදානය කිරීමට ද නියමිතය.

ඒ සඳහා රුපියල් ලක්‍ෂ 39 ක මුදලක්‌ මලල ක්‍රීඩා නිල අනුග්‍රාහකයන් වන ලංකා බැංකුවට දැරීමට සිදුවී ඇත. අදාළ මුදල් ලංකා බැංකුව විසින් මලල ක්‍රීඩා අනුග්‍රාහකත්වය යටතේ පිරිනමන ලද (වාර්ෂික) රුපියල් ලක්‍ෂ 223 ක ගිණුමට අයත් වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all