Photobucket

Sunday, December 30, 2012

ගමේ වැඩට ගිය මංත්‍රීගේ හිස පලයි:නහය කඩයි

බළන්ගොඩ කල්තොට ප්‍රදේශයේ වැලිපත කෝන්ගහ වසමේ ක්‍රීඩා පිට්ටනිය සංවර්ධනය කිරීමට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පිරිසක් පහරදීමෙන් රෝහල් ගතකර තිබේ. 27 වැනිදා සන්ධ්‍යාභාගයේ ඇති වු ගැටුමින් ‍කල්තොට රෝහල් ගතකර ඇත්තේ බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක්වු සුගත් ආරියරත්න මහතාය. රෝහල්ගතව සිටින මන්ත්‍රීවරයා ලක්බිමට මෙසේ අදහස් දැක්වීය.

 “බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සංවර්ධන කටයුතු වලට පවිත්‍රා ඇමතිනියගේ ප්‍රතිපාදන වලින් ලක්ෂයක මුදලක් ලැබුණා. ඉන් බළන්ගොඩ වැලිපත කෝන්ගහ වසමේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කටයුතු කරමිනුයි හිටියේ. ජේ.සී.බී. එක පාරේ එහා මෙහා යාමෙන් මඩවී තිබුණා. ගමේ අයගෙන් ඉල්ලීමක් තිබුණා පාර හදල දෙන්න කියලා. ඒ අයට මා වාචිකව පොරාන්දු වුණා ක්‍රීඩාපිටියේ වැඩ අවසන්වු වහාම පාර හදලා දෙන්න. තව පස් කියුබ් පහක ප්‍රමාණයක් පමණයි අවශ්‍ය වුනේ වැඩ අවසන් කිරීමට. රෑ බෝවුන නිසා වැඩ නවත්වා ට්‍රැක්ටරය ලොරිය හා ජේ.සී.බී. යන්ත්‍රය ගෙනියන්න හදනවිට ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් විකුණන ගමේ පුද්ගලයෙක් මා හා වාද කළා. ඒවන විටත් එම පිරිස මත්පැන් පානය කරලයි හිටියේ. ඒ අය එම අවස්ථාවේම පාර හදා දෙන ලෙස බල කළා. මා මෝටර් බයිසිකලයේ නැගී යන්න හදනවිට පිටිපස්සෙන් ඇවිත් මගේ දුරකථනයත් උදුරාගෙන කීපදෙනෙක් හා එක්ව මට පහරදුන්නා. පහුගිය පළාත් සභා මැතිවරණයේ දී මා වැඩකළේ දේශපාලනඥයින් කිපදෙනෙකුට. මට හිතෙනවා මේ පිටුපස වෙනත් යම් දේශපාලන බලපෑමකුත් තියන බව. අනික ප්‍රදේශයේ මන්ත්‍රීවරයා විදිහට මං කියන දේ පිළිගන්න බැරිනම් වැඩිහිටියන්ගේ කීමට එහෙමත් නැතිනම් ග්‍රාම නිලධාරීවරයා හෝ වෙනත් නීතිමය මැදිහත් වීමකින් විසඳගන්න තිබුණා. වැරදි ක්‍රම අනුගමනය කරන්නේ නැතිව. මා කල්තොට පොලීසියේ පැමිණිල්ලක් කළා. නහයට හා හිසට තුවාලවීම නිසා කල්තොට රෝහළේ ප්‍රතිකාර ලබනවා ” 

කල්තොට පොලීසියෙන් විමසීමේදී ඔවුන් කීවේ එවැනි සිද්ධියක් වාර්තා වී ඇති බවයි. මේවන විට කටඋත්තර ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවත්ය. කෙසේ වෙතත් දෙපාර්ශවයම පැමිණිලි කර ඇති අතර දෙපාර්ශවයම රෝහල් ගතව ඇති බවද වාර්තාවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all