කාලගුණ විපර්යාසය බොහොම තදින් බලපාන කාලයක් දැන් එලැඹිලා. වෙනදාට උඳුවප් මාසෙදි අපට
දැනෙන්නේ නත්තල් සුළඟේ දැවැටුණු සුවදායක වියළි කාලගුණයක්. ඒත් පසුගිය වසර කිහිපය
තුළ ඒ සුපුරුදු දේශගුණික රටාව වෙනස් වෙලා. මෙවර නත්තල ඒ හැමදාටම වඩා වෙනස්. රට පුරා
මහ වැසි ඇද හැළිලා. තද සුළං හමලා. ගං වතුර ගලලා.
මේ දේශගුණික විපර්යාසයත් එක්කම කාටත් නොදැනීම ජනතාව අතර ලෙඩ රෝගත් පැතිර යනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අව්ව, වැස්ස, සුළං තත්ත්වය ගැන අනාවැකි කීවාට මේ
අයහපත් කාලගුණයත් එක්ක පැතිර යන ලෙඩ රෝග ගැන හෝ ඒවායෙන් වැළැකී සිටින ආකාරය ගැන
උපදෙස් දෙන්නේ නෑ.
එහෙයින් මෙවර අපි එවැනි රෝගාබාධ ගැනත් ඒවායෙන් වැළැකී සිටීමට ගත යුතු
ක්‍රියාමාර්ගත් පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කරමු.
වසරේ අග මාස දෙක තුන තුළ සාමාන්‍යයෙන් බොහෝ රටවල පවතින්නේ ශීත කාලගුණයක්.
විශේෂයෙන්ම යුරෝපීය රටවලත් ඉන්දියාව ජපානය චීනය වැනි රටවලත් මේ ශීත දේශගුණය
සාමාන්‍යයි. සෘතු විපර්යාසය බලපාන රටවල ජනතාව වසරක් පාසා එළැඹෙන මේ ශීත දේශගුණයට
ඔරොත්තු දෙන ආකාරයට කල් තියාම සූදානම් වෙනවා. මේ කාලයට නිතර වැලඳෙන
සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වෛරස් උණ, ඇදුම, හතිය වැනි රෝග පිළිබඳව ඒ රටවල සෞඛ්‍ය අංශ
ජනතාව කල්තියා දැනුම්වත් කරනවා වගේම ජනතාවත් ඒ රෝගවලින් වැළැකී සිටීමට ගත හැකි
ක්‍රියාමාර්ගවල නිරත වෙනවා.
අපේ ජනතාවට එවැනි කාලගුණයන් සමඟ ඇතිවන රෝගාබාධ පිළිබඳ විශේෂ හුරුවක් නැති වුවත්
නිතර ඇතිවන මේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි රෝග පිළිබඳව දැන සිටීම
වැදගත්. අපේ රටේ මේ දිනවල පවතින්නේ වැසි සහිත ශීතල දේශගුණයක්.
මේ ශීතල දේශගුණය කුඩා ළමයිනට වැඩිහිටියන්ට වගේම ශරීර ශක්තියෙන් දුර්වල පුද්ගලයන්ට
අහිතකර ලෙස බලපානවා. විශේෂයෙන් ම ළදරුවන්ට හා වයෝවෘද්ධ පුද්ගලයන්ට ස්වශන පද්ධතිය
ආශි‍්‍රත රෝග වැඩි වශයෙන් වැලඳෙන්නට මේ ශීත දේශගුණය හේතු වෙනවා.
දිගු කාලීනව සෙම් රෝග, ඇදුම හෝ පීනස වැනි රෝග පවතින රෝගීන්ගේ එකී රෝග ලක්ෂණ යටපත්ව
තිබී නැවත මතු වන්නටත් මේ දේශගුණය බලපානවා. වෛරස හා බැක්ටීරියා වර්ධනය වීමට මේ
තෙතමනය සහිත වාතාශ්‍රය හොඳ තෝතැන්නක්.
ඒ හෙයින්ම වෛරස උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුඑන්සාව, ඇදුම, පීනස වැනි රෝග
වැඩිපුර පැතිර යාමට පුළුවන්. එමෙන්ම අපවිත්‍ර ජලය භාවිතය හේතුවෙන් වැලඳෙන පාචනය,
සෙංගමාලය, උණසන්නිපාතය, වැනි රෝගත් පැතිර යනවා.
අධික වර්ෂාව හේතුකොට ගෙන ඇතිවන ජල ගැලීම් හේතුවෙන් ඊට ගොදුරු වන ජනතාව අවතැන්
වෙනවා. එවිට ඔවුන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ බීමට පිරිසුදු ජලය සොයා
ගැනීමට අපහසු වීමයි. නිසි පරිදි මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමෝපායයන් අහිමි
වීමත් ගැටලුවක්. ගංවතුරට කොටු වූ ජනතාව එක්රැස් වන පාසල්, පන්සල් හෝ පොදු ස්ථානවල
ඔවුන්ට පිරිසුදු පානීය ජලය සපයා දීම විශාල ගැටලුවක්.
ගංවතුරට යට වීමෙන් බොන ළිං ඇතුළු ජල මූලාශ්‍ර අපිරිසුදු වෙනවා. ඒ ළිංවලින් ලබා
ගන්නා ජලය බීමට සුදුසු නෑ. බීමට ගන්නා ජලය හැකි තරමින් උණු කර නිවා ගන්නට හැකිනම්
පාචනය සෙංගමාලය උණ සන්නිපාතය වැනි වසංගත රෝග වළක්වා ගත හැකියි.
වයස අවුරුදු දෙකට අඩු දරුවන් හා වයස අවුරුදු 60ට වැඩි ජනතාව වඩාත් පහසුවෙන් එවැනි
රෝගාබාධවලට ගොදුරු වෙනවා. කුඩා ළමයින් අතර වෛරස ඉන්ෆ්ලුඑන්සාව, කැස්ස වගේ ම සෙම්
ගෙඩි උගුර ආශි‍්‍රත ආසාදන කනේ අමාරු වැනි රෝග බහුලව ඇති වෙනවා. පීනස් හෝ ඇදුම රෝග
තිබී වැසි රහිත වියළි කාලයන්හි ඒවා යටපත්ව තිබු අයට මෙවැනි ශීතල තෙතමනය සහිත
කාලවලදී එම රෝග තත්ත්ව යළිත් මතුවී ඒමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එවැනි රෝගීන් මෙන්ම
කුඩා දරුවන් සිටින මවුපියන් ඒ ගැන හොඳින් අවධානයෙන් පසුවීමත් ඒ රෝග වළක්වා ගැනීමට
කටයුතු කිරීමත් ඉතා වැදගත්.
කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් වැසි සහිත ශීතල දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ උණුසුම්
ඇඳුම් හා හිස් වැසුම් භාවිත කිරීමෙන් ශීතලෙන් ආරක්ෂා විය හැකිය. උදෑසන පින්නට හසු
නොවීම, වැසි හිරිකඩ නොවැදීම හෝ වැස්සට නොතෙමීම, නිතරම දෙපා සහ සිරුරු ජලයෙන්
තෙමීමෙන් වැළකීමත්, සැන්දෑ පින්නට හසු නොවී සිටීමත් වඩා සුදුසුයි. දරුවන් මෙන්ම
දුර්වල වැඩිහිටියන් මෙවැනි වැසිබර ශීතල දිනවලට ශීතල වතුරෙන් නෑම ඒ තරම් සුදුසු නෑ.
කුඩා දරුවන් වුවත් දිනපතා නෑවීම වෙනුවට දේශගුණය අනුව සතියකට දින දෙක තුනක් නෑවීම
සුදුසුයි. එහෙත් දිනපතා උණු වතුරෙන් ඇඟ සෝදා ඉක්මනින්ම හොඳින් ඈග පිහදා උණුසුම්
ඇඳුමක් ඇන්දවීම කළ යුතුයි. ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල වෙසෙන දරුවනට එළිමහනේ
සෙල්ලම් කිරීමට හෝ අවසර නොදීම අකටයුත්තක්. එහෙයින් හොඳින් ඇ¼ඟ වැහෙන ඇඳුම් හා කන්
වැහෙන සේ හිස් වැස්සක් අන්දවා එළිමහනේ සෙල්ලම් කිරීමට ඉඩ හරින්නට පුළුවන්.
වැඩිහිටියන්ට නම් තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යම් වැටහීමක් ඇති හෙයින් ශීත කාලයේදී
තම සිරුරට ඔරොත්තු නොදෙන කටයුතුවල යෙදීමෙන් වැළැකී සිටීමට පුළුවන්. හොඳින් හිරු
නොපායන දිනවල ශීතල වතුර නෑම, උදෑසන හෝ සවස් කාලයේ ශීතල වාතාශ්‍රයට නිරාවරණය වීමෙන්
ඇදුම, කැස්ස, පීනස වැනි යටපත් වූ රෝග තත්ත්ව යළි ඉස්මතු විය හැකි මෙන්ම කලාතුරකින්
හෘදයාබාධයක් වුවත් හටගන්න පුළුවන්.
එවැනි රෝගීන් නිතරම උණුවතුර බීමෙන්, හොඳින් සිරුර වැසෙන සේ උණුසුම් ඇඳුම් ඇඟලා
ගැනීමෙන් ශීතලෙන් ආරක්ෂා වෙනවා වගේම තමා ගේ රෝග තත්ත්වය උත්සන්න වීමේදී ලබා ගත යුතු
ඖෂධ වර්ග කල්තියා වෛද්‍යවරුන් වෙතින් ලබා ගෙන ළඟ තබාගෙන සිටීමත් වැදගත්.
කුඩා දරුවන් සිටින මවුවරුන් වුවත් ඇදුම, හතිය, පීනස වැනි ලෙඩ රෝගවලින් පීඩා විඳින
දරුවන් සිටී නම් ඔවුන්ට ලබා දෙන ඖෂධ වෛද්‍යවරයා වෙතින් ලබාගෙන ළඟ තබාගෙන සිටිය
යුතුයි.
වෛරස මඟින් බෝවන ආසාදන මෙන්ම බැක්ටීරියා මඟින් සිදුවන ආසාදනවලට මූලික හේතුව වන්නේ
අපිරිසුදු ජලය පානය කිරීම හා අපිරිසුදු ආහාර පාන පරිභෝජනයයි. හැකි තරමින් උණුකර
නිවාගත් ජලය පානය කිරීම හෝ අඩුම වශයෙන් හොඳින් පෙරාගත් ජලය හෝ පානය කළ හැකි නම්
හොඳයි. ආහාර පිළියෙල කිරීමේදී, ආහාර බෙදීමේදී, ආහාරයට පෙර හා පසු මෙන්ම වැසිකිළි
කැසිකිළි භාවිතයෙන් පසුව සබන් යොදා නිවැරැදි ආකාරයට හොඳින් අතුල්ලා දෑත් සේදීම ඉතාම
වැදගත්.
බොහෝ දරුවනට පාචනය, සෙංගමාලය හෝ උණසන්නිපාතය වැලැඳෙන්නේ අපිරිසුදු ජලය හා අපිරිසුදු
ආහාර පාන ගැනීමෙන්. මැස්සන් මඟින් විෂබීජ පැතිරයාම බොහෝ ලෙඩ රෝගවලට මුල් වෙනවා.
ආහාර පිසීමට පෙර ගබඩා කිරීමේදී මෙන්ම පිසීමෙන් පසුව පරිභෝජනයට ගන්නා තුරු මැස්සන්ට
වැසීමට බැරි වන සේ හොඳින් වසා තබන්න. මැස්සන් වැසූ ආහාර පාන පරිභෝජනයෙන් වැළැකී
සිටින්න.
මැස්සන් බෝවන ස්ථාන ඇති නොවන සේ නිවාස හා අවට පරිසරය පවිත්‍රව තබාගන්න. සෑම නිවෙසකම
මුළුතැන්ගෙය හා සෙසු ස්ථානවල එක්රැස්වන කුණු කසළ බැහැර කිරීමේ නිසි ක්‍රියා
මාර්ගයක් තිබිය යුතුය. කසළ බඳුණේ පියන මැස්සන්ට වැසීමට නොහැකි වන සේ හැම විටම වසා
තබන්න. ආහාර පාන, කන බොන පිඟන් කෝප්ප හැළි වළං යනාදිය ද මැස්සන් වසන්නට නොහැකි වන
සේ වසා තබන්න. ගෙබිම හොඳින් අතුගා පිරිසුදුව තබාගන්න.
අජීර්ණය පාචනය හෝ සෙංගමාලයට ගොදුරුවන කුඩා දරුවන් අතරින් වැඩි දෙනකු ඊට ගොදුරු
වන්නේ අපිරිසුදු ආහාර පාන ආහාරයට ගැනීමෙනි. විශේෂයෙන් කුඩා දරුවන් බිම වැටී ඇති
ආහාර කැබලි අහුලා කෑමෙන් මෙන්ම බිම අතගා ඇඟිලි කටේ දමා ගැනීමෙන් මුඛ මඟින් විෂබීජ
ශරීරගත කර ගන්නවා. ගෙබිම පිරිසුදුව තබාගැනීම මෙන්ම හැමවිටම දරුවාගේ දෑත් පිරිසුදුව
තබාගැනීමෙන් එම අනතුරු වළක්වා ගත හැකියි.
වැසි සමය එළැඹීමත් සමඟ ඩෙංගු උවදුර යළිත් හිස එසැවීමේ අවධානමත් පවතී. ඩෙංගු රෝගයෙන්
වැළැකීමට ඇති හොඳම පිළියම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇති නොවීමට වගබලා ගැනීමයි.
ඩෙංගු මදුරුවා පිරිසුදු ජලයෙහි ද හොඳින් වැඩේ. එහෙයින් වැසි ජලය එක් රැස්වන වැහි
පිහිලි, කාණු, ටයර්, ටින්, බෙලෙක්ක, පොල්කටු, තැඹිලි කෝම්බ පමණක් නොව ටින් පියන්
බෝතල් මූඩි පවා වතුර එක්රැස්වීමට ඉඩ ඇති නොවන පරිදි පිරිසුදු කිරීම හා ඉවත් කිරීමට
වග බලා ගත යුතුය.
උණ වැලැඳුණහොත් දින තුනක් පසු වනතුරුම බලා නොඉඳ වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
“වැස්ස කාලෙට උණ හැදෙනවා” යැයි කියමින් කල් බලමින් සිටීම නුවණට හුරු නොවේ. ඩෙංගු
පමණක් නොව බරවා, මැලේරියා වැනි වාහක රෝග වැසි සහිත කාලගුණයකදී වෙනදාට වඩා වැඩිවීමට
ඉඩ තිබේ. වාහක රෝගවලින් වැළැකී සිටීමට ඇති හොඳම පිළියම මැසි මදුරු නිජබිම් වනසා
දැමීමයි.
වර්ෂාව සුළං හා අකුණුසැර සහිත කාලගුණයක් පවතින විට සිදුවිය හැකි හදිසි අනතුරු ගැන ද
අවධානයෙන් සිටිය යුතුයි. අකුණු ගැසීම පවතින විට විදුලිය භාවිතය හා කුඩා දරුවනට ළඟා
විය හැකි ස්ථානවල විදුලියෙන් ක්‍රියාකරන උපකරණ තැබීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
සොබාදහමෙහි දේශගුණික විපර්යාස වළක්වාලීම මිනිසාට කළ නොහැකියි. එහෙත් ඒ හේතුකොට ගෙන
ඇතිවන ලෙඩ රෝග වළක්වා ගැනීමත් අනතුරු වළක්වා ගැනීමත් මිනිසාට කළ හැකියි. ඒ පිළිබඳ
අවධානයෙන් සිටිමින් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ලෙඩ රෝග මෙන්ම අනතුරුවලින් ද වැළැකී
සුවපත් දිවියක මිහිර අත්විඳින්නට ඔබටත් හැකිවනු නිසැකයි.
0 comments:
Post a Comment