Photobucket

Sunday, December 23, 2012

ක්‍රීඩා නිලවරණ පැවැත්වීමට අමාත්‍යංශය සූදානම් වෙයි

සියලුම නිලවරණ මාර්තු 31ට පෙර

 ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සම්මේලන 45ක නිලවරණ ලබන මාර්තු මස 31 වැනි දිනට පෙර පවත්වා අවසන් කළ යුතු බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය සඳහන් කර සිටී. ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි ක්‍රීඩා සම්මේලන 57ක් තිබෙන අතර, ඉන් සම්මේලන 48 ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර සිටී. මෙම ක්‍රීඩා සම්මේලන 48ක් අතුරින් ක්‍රීඩා 3ක් සඳහා අතුරු පාලක කමිටු පැවැති අතර, අනෙකුත් ක්‍රීඩා සම්මේලන සහ සංගම් යටතේ පාලනය විය. 

පාපැදි, නෙට්බෝල් සහ වෙඩි තැබිමේ ක්‍රීඩා අතුරු පාලක කමිටු පාලන යටතේ පැවැති ක්‍රීඩාවන් වේ. එම ක්‍රීඩාවල නිලවරණ කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්ද, අනෙකුත් ක්‍රීඩා සංගම් සහ සම්මේලනවල නිලවරණ එම සම්මේලන විසින්ම සිදුකළ යුතු බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය අතුරු පාලන යටතේ ඇති ක්‍රීඩා අතුරින් දැල්පන්දු ක්‍රීඩාව සඳහා සම්මේලනයක පාලනයක් ගෙන ඒම පිණිස නිලවරණයක් කැඳවීමට කටයුතු යොදා ඇති අතර, පාපැදි සහ වෙඩි තැබිමේ ක්‍රීඩා සඳහා මෙම කාලය තුළ නිලවරණයක් නොපැවැත්වෙන බව සඳහන් කර සිටියාය. පාපැදි ක්‍රීඩාවේ 2011 නිලවරණය පිළිබඳව පිරිසක් ගොනුකළ නඩුවක් තවම අවසන් වී නැහැ. 

වෙඩි තැබිමේ ක්‍රීඩාවේ පාලනය සඳහාද එවැනිම විරෝධතාවක් ගොනුවී තිබෙනවා. එබැවින් පාපැදි සහ වෙඩි තැබිමේ ක්‍රීඩා සඳහා නිලවරණ පැවැත්වීමට දැන්ම කටයුතු කෙරෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ නිලවරණයක් පැවැත්වූයේ මේ වසරේදී. ඒ නිසා ක්‍රිකට් පිළිබඳව නිලවරණයක් ගැන සූදානමක් නැහැ. ඒ වුනත් අනෙක් ක්‍රීඩා 45ක් සඳහා නිලවරණ අදාල සංගම් සහ සම්මේලන විසින්ම පැවැත්වීමට කටයුතු යොදන ලෙස අප දන්වා යවා තිබෙනවා. 

හැබැයි ඒ නිලවරණ පැවැත්විය යුත්තේ ජාතික ක්‍රීඩා පණතේ ප්‍රකාරවයි. මූළිකව දිස්ත්‍රික් සංගම් වල වසරේ ක්‍රියාකාරීත්වය, ජාතික ශූරතතාවයන් පැවැත්වීම, නිවැරදි වාර්ෂික වාර්තාව සහ වසරේ ගනුදෙනු නිවැරදිව විගණනය කළ වාර්තාව මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ සෑම නිලවරණයකටම අපගේ නියෝජිතයන් සහභාගි කරවනවා. සාධාරණව ඒවා පැවැත්වෙනවාද යන්න නිරීක්ෂණය කරන්න යැයිද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all