ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනිමෙන් අනතුරුව සිංගප්පූරුව අද ශ්‍රී
ලංකාවට මුණ ගැසෙයි. මේ දිනවල පැවැත්වෙන සිංගප්පූරු සික්ස් නේෂන් තරගාවලියේ
මූලික වටයේ අවසන් තරගයේදී මෙම හමුව සිදුවෙයි. තම රටේදී ලකුණකින් පරාජය කර
ආසියානු නෙට්බෝල් කුසලානය සිංගප්පූරුවට රැගෙන යෑමේදී ඇතිවූ සිත් වේදනාවෙන්
සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එකට එක කිරීමේ ආසන්නතම අවස්ථාව උදාව ඇති හෙයින්
අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සැලකේ.
එමෙන්ම සිංගප්පූරු නෙට්බෝල්
පුහුණුකාරිනී ඔස්ට්‍රේලියානු ජාතික කේට් කාර්පෙන්ටර්ගේ අවසන් තරගාවලිය
මෙය වන හෙයින් සිංගප්පූරුව මේ තරගය ජය ගැනීමේ විශාල බලාපොරොත්තුවකින්
පසුවේ. කාර්පෙන්ටර් කලක් ශ්‍රී ලංකාවට ද පැමිණ විශේෂඥ උපදෙස් දී ඇති හෙයින්
සිංගප්පූරුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් පරාජය වනු දැකීමට අකමැති වනු
ඇත.
මෙතෙක් පැවැති මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව තරග 4කට සහභාගීවී තරග දෙකක් ජය
ගෙන තරග දෙකක් පරාජය වී සිටී. සිංගප්පූරුවද එවැනිම ප්‍රතිඵලයක සිටින අතර
මැලේසියාව හා නැමීබියාවද ඒ හා සමානව සිටී. මේ කණ්ඩායම් හතරම ලකුණු 4 බැගින්
ලබා සිටින හෙයින් වැඩිම ගෝල් ප්‍රමාණයක් වාර්තා කරමින් ජය ගැනීම සියලු
කණ්ඩායම්වල බලාපොරොත්තුව වේ.
ප්‍රබල ටැන්සෑනියාව සහභාගීවූ තරග 4ම ජයගෙන ලකුණු 8ක් ලබා පළමු ස්ථානයේ
සිටිමින් දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටී. සෙනසුරාදා
පැවැත්වෙන අවසන් මහා තරගයට යෑමට ශ්‍රී ලංකාව, නැමීබියාව, සිංගප්පූරුව හා
මැලේසියාව සටන් කළ යුතුව ඇති අතර දැනට වැඩිම වාසි ඇත්තේ නැමීබියාවට වේ.
ඔවුන්ගේ ගෝල් සාමාන්‍ය 169.7කි. ශ්‍රී ලංකාව 5වැනි ස්ථානයේ සිටින අතර ගෝල් සාමාන්‍ය
97.7කි.
ශ්‍රී ලංකා ආරක්ෂක පෙළේ තියුණු බව හා ක්‍රීඩාශීලීත්වය වර්ධනය කරගතහොත්
වෙනදාට වඩා වාසි සහගත ප්‍රතිඵලයක් ලබා ගැනීම අසීරු නොවනු ඇත. එමෙන්ම ගෝල ෂූටර්
තර්ජනී සිවලිංගම්ට ඉතා පහසු ආකාරයට පන්දු යොමු කිරීමද වෙනදාට වඩා විධිමත්
විය යුතු බව නායිකා ගයාත්‍රී ලංකාතිලකගේද පිළිගැනීම වී තිබේ.
අවසන් වරට හමුවූ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව ලකුණු 48-47කින් පරදවා තම
අරමුණ ඉටු කර ගත්හ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේද ඊයේ පැවැති එම තරගය ආරම්භයේ
සිටම ප්‍රබල තර්ජනයක් එල්ල කළ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ කාර්තු හතරේදීම ශ්‍රී
ලංකාවට පීඩනය වැඩි කළහ.
පළපුරුදු ක්‍රීඩිකාවන්ගෙන් සිදුවු වැරදි ක්‍රීඩා විලාසය හේතුවෙන් එම පරාජය
ශ්‍රී ලංකාවට අත්වීමට ප්‍රධානතම හේතුව විය. අවසන් මහා තරගයකදී තිබිය යුතු
උණුසුම් ක්‍රීඩා විලාශයෙන් පිරිපුන් වු එහි ලකුණු තත්ත්වය වුයේ 12-13, 13-13,
11-10 හා 11-12ක් ලෙසිනි.
ශ්‍රී ලංකාවට ලකුණු කරා යා හැකි පහසු අවස්ථා 12ක් පමණ පා පිළිබද නීතිය, අසාර්ථක
යොමු කිරීම වැනි හේතු මත අහිමි වී ගිය අතර ඒ සෑම අවස්ථාවකම වාසිය පෙරළා
සිංගප්පුරුව හිමිකර ගත්තේය
එම අඩුපාඩු සියල්ල මගහරවා ගතහොත් ශ්‍රී ලංකා පිලට සික්ස් නේෂන් නෙට්බෝල්
කුසලානය දිනා ගැනීම කෙසේ වුවද ආසියානු ශූර සිංගප්පූරුව පරාජය කිරීමේ සතුට
අත්විදිය හැකි වනු ඇත.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment