Photobucket

Wednesday, December 12, 2012

දෝෂාභියෝගය පිළිබඳව තවත් කමිටුවක් - ජනාධිපති

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැරදිකාරිය බවට ඇයට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ නිගමනය පරීක්ෂා කිරීමට තවත් කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී අදහස් පළ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, දෝෂාභියෝගයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහාය දුන් නමුත් ඒ පිළිබඳව තමාගේ එතරම් මනාපයක් නැති බවත් ඒ පිළිබඳව කණගාටුවන වන බවත් පැවසීය.
තේරීම් කාරක සභාවේ නිගමණයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ අනුමැතිය පළ වුවහොත් අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.

"මම බලාපොරොත්තු වෙනවා ස්වාධීන කමිටුවකින් තවදුරටත් මේ වාර්තාව ගැන, මම ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ල, සොයා බලල කටයුතු කරන්න," ජනාධිපතිවරයා පැවසීය.

මෙය රටේ ව්‍යවස්ථාවට හෝ නීතියට අදාළ කාරණයක් නොවූවත් අදාළ ක්‍රියාදාමය පිළිබඳව "මගේ හදවතට එකඟව ක්‍රියා කිරීම සඳහා" එම පියවර ගන්නා බවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.

වාර්තාව 'නීත්‍යානුකූල නෑ'

'ජනාධිපතිම පිලි අරගෙන'

"මේක සාධාරණ නැහැයි කියලා ජනාධිපති වරයා තමන්ම තවත් කමිටුවක් පත් කළොත් ඒ ගැන විශ්වාසයක් නැහැයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ"
එජාප මන්ත්‍රී මංගල සමරවීර

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස කතානායකවරයාට ඉදිරිපත් කළ රහසිගත වාර්තාව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කොට තිබෙන වාර්තාවට කිසිදු නීත්‍යානුකූල වලංගුභාවයක් නොමැති බව මේ අතර නීතිවේදීන්ගේ සංවිධාන පවසති.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංගමයේ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ විශේෂයෙන්ම විපක්ෂයේ නියෝජිතයන් ඉවත් වූ පසුව තේරීම් කාරක සභාවට නීතිමය වලංගු භාවයක් නොමැති බවයි.

වරලත් ගණකාධිපති වරුන් හමුවේ කරන ලද ප්‍රකාශයෙන් ජනාධිපති වරයා අගවිනිසුරු වරිය ට එරෙහි චෝදනා විභාග කිරීමට පත් කරන ලද කමිටුව ස්වාධීන නොවන වග පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

'පොදු රාජ්‍ය මණ්ඩලීය කමිටුවක්'

අග විනිසුරු වරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමයට විරුද්ධව "ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙමින් පවතින දැවැන්ත විරෝධය හමුවේ ජනාධිපතිවරයා තමන් පත් කළ කමිටුව ස්වාධීන නොවන බව ප්‍රසිද්ධියේ පිළිගෙන," ඇතැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේත් සහාය ලබාගෙන ජාත්‍යන්තර පිළි ගැනීමෙන් යුත් කමිටුවක් පිහිටුවීමේ අවංක චේතනාවෙන් රජය කටයුතු කරන්නේ නම් ඊට විපක්ෂයේද සහාය ලැබෙනු ඇතැයි හිටපු විදේශ අමාත්‍යවරයා විශ්වාසය පල කළේය.

"මේක සාධාරණ නැහැයි කියලා ජනාධිපති වරයා තමන්ම තවත් කමිටුවක් පත් කළොත් ඒ ගැන විශ්වාසයක් නැහැයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ," යි ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all