Photobucket

Tuesday, December 4, 2012

ඉවතලන කඩදාසිවලින් වැඩ ගන්න මෙරට කඩදාසි කම්හල් පියවර ගනී

දිවයින තුළ පිහිටි කඩදාසි කම්හල් සිය නිපැයුම් ධාරිතාවය ඉහළ තබා ගැනිම සඳහා ඉවතලන කඩදාසි භාවිතා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මීට හේතුව ජාතික කඩදාසි අවශ්‍යතාවයන් සඳහා සිය නිපැයුම් ධාරිතාවයෙන් සියයට 40ක් පමණ ඉවතලන කඩදාසි පාවිච්චි කිරීමට බලාපොරොත්තු වුවද එය මෙතෙක් සාර්ථකව ඉටු කර ගැනීමට නොහැකි වීමයි.

 එබැවින් මේ සඳහා කඩදාසි සංස්ථා බලධාරීහු නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සූදානම් වෙති. 

තවමත් අප රටේ ඉවතලන කඩදාසිවලින් නිපදවන කඩදාසි ප්‍රමාණය ශ්‍රී ලංකාවේ කඩදාසි නිපැයුමෙහි සියයට 14කට සීමාවී පවතී. මේ සඳහා කඩදාසි සමාගම මීට පෙර විවිධ පියවර රැසක් ගෙන තිබුණද ඒවා සියයට සියයකින්ම සාර්ථක වී නැත.

මිට වසර කිහිපයකට පෙර මහා භාණ්ඩාගාරය මගින් චක්‍ර ලේඛනයක් නිකුත් කරමින් සියලු රාජ්‍ය ආයතන, මණ්ඩල, දෙපාර්තමේන්තු හා සංස්ථාවලින් ඉවත දමන කඩදාසි කඩදාසි සමාගම වෙත බාර දෙන ලෙස ඉල්ලා ඇති නමුදු බොහෝ ආයතන එම ඉල්ලීම ඉටු නොකර ඒවා හොර පාරේ විකුණන බවත් වාර්තා වේ.

එසේ වුවත් අසල්වැසි බොහෝ රටවල් (ඉන්දියාව වැනි) කඩදාසි කර්මාන්තයට අවශ්‍ය කඩදාසිවලින් සියයට 35ක්ම අද උපයෝගී කරගනු ලබන්නේ් මෙම ඉවතලන කඩදාසියි. එමගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වේ.

ලෝකයේ දියුණු බ්‍රිතාන්‍ය අමෙරිකාව වැනි රටවල් ඉවතලන කඩදාසි නැවත කඩදාසි නිපදවීමට උපයෝගී කරගත යුතු බවට පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරගෙන සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට දන්වා යවා තිබේ. 

පිටරටවල තත්ත්වය මෙබදු වුවද අද අපේ රටේ කඩදාසි සමාගමට අවශ්‍ය තරම් පාවිච්චි කළ කඩදාසි නොසැපයේ.

මෙම ඉවතලන කඩදාසි ටොන් 1ක් භාවිතය තුළින් රුපියල් 1200 ක් වටිනා දැවිතෙල් හා විදුලිය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව කරන ලද පර්යේෂණවලින් පැහැදිලිව සනාථ වී තිබියදී එවැන්නක් ක්‍රියාත්මක නොවීම නිසා මෙරටින් විශාල මුදල් ප්‍රමාණයක් නිකරුනේ විදෙස් රටවලට ඇදී යන්නට පටන් ගෙන තිබේ.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
කොළඹ දකුණ සමූහ - ගාමිණී රූපානන්ද
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all