Photobucket

Friday, December 28, 2012

"දිවයින" මාධ්‍යවේදියා ඇතුළු 7ක්‌ රිය අනතුරින් තුවාල ලබති

වත්තල මාබෝල ප්‍රදේශයේදී අපරික්‍ෂාකාරී අයුරින් ධාවනය වූ ලොරි රථයක්‌ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් "දිවයින ඉරිදා සංග්‍රහයේ" මීවිත සංස්‌කාරක රංග විදානේ මහතා ඇතුළු හත් දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර (27 දා) පෙරවරු 8.30 ට පමණ සිදුවී තිබේ. අනතුරින් තුවාල ලැබූවන් අතර රංග විදානේ මහතා, ඔහුගේ බිරිඳ සහ දරුවාත්, මස්‌සිනා, මස්‌සිනාගේ බිරිඳ හා ඔවුන්ගේ දරු දෙදෙනා ද වන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක්‌ "දිවයින"ට පැවසුවාය.

රංග විදානේ මහතාගේ දකුණු අතට අනතුරින් හානි සිදුවීම නිසා ශල්‍යකර්මයක්‌ සිදු කිරීමට නියමිතය. ඔහුගේ දත් කැඩී ඇති බවත්, මුහුණේ හා නාසයේ තුවාල ඇති බවත් අනෙක්‌ අයට සුළු තුවාල සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

රංග විදානේ මහතා ඇතුළු පිරිස ගමන්ගත් මෝටර් රථය හලාවත දෙස සිට කොළඹ දෙසට ප්‍රධාන මාර්ගයේ පැමිණෙමින් සිටියදී වත්තල මාබෝල ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිට ලොරි රථය එක්‌වරම ප්‍රධාන මාර්ගයට දමනවාත් සමගම මෙම අනතුර සිදුවී ඇතැයි වත්තල පොලිසිය කියයි.

මෝටර් රථයේ සිටි රංග විදානගේ මහතාගේ මස්‌සිනා විසින් ලොරි රියෑදුරුට රථය ප්‍රධාන මාර්ගයට නොදමන ලෙස සංඥ කරද්දී එය නොතකා ලොරිය මාර්ගයට දැමීමත් සමග අනතුර සිදුවූ බවත්, ලොරිය මෝටර් රථයේ හැපීමත් සමග මෝටර් රථය පෙරළුණු බවත් අනතුරින් තුවාල ලැබූවෝ පැවසූහ.

සැකකාර ලොරි රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වත්තල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳව වත්තල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඉන්දික ලොකුහෙට්‌ටි මහතාගේ උපදෙස්‌ මත රථවාහන විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක කුලවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all