Photobucket

Tuesday, September 22, 2015

‘පක්ෂයක් ලෙස විජේවීර පවුලට සියලු යුතුකම් ඉටු කළා‘

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය කුමන දේවල් කිව්වද පක්ෂයක් ලෙස විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන්ට කළ හැකි සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා (22) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත්වී නැති ප්‍රශ්න ඇතිකිරීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී පැවසීය. රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් දැනට ජීවත්වන නාවික හමුදා නිවස්නයෙන් ඔවුන් ඉවත් කිරීමට නාවික හමුදාව උත්සාහ කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ සහ එම පවුලේ අය එක්ව සාකච්ඡා කර කාලය දීර්ඝ කරගත් බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.

රෝහණ විජේවීර මහතාගේ දරුවන් නිතර ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට පැමිණෙන බවත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පක්ෂය හැකි අයුරින් වියදම් දරන බවත් පැවසූ ඒ මහතා ඔවුන් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කළ කටයුතු එකින් එක කීමට අවශ්‍ය නොමැති බවත් විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් පාරට ඇද වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් පැවසීය.

චිත්‍රාංගනී විජේවීර මහත්මිය ඇතුළු පවුලේ අයට නව නිවසක් සාදා දීමට රුපියල් කෝටි ගණනින් අරමුදල් පක්ෂයට නැතත් දැනට වෙසෙන ස්ථානයේ කාලය දීර්ඝ කරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සෑම විටකම පෙනී සිටින බවත් විජිත හේරත් මහතා කීවේය.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all