Photobucket

Saturday, December 29, 2012

මේ මරණය ඕන කමින්ම කරපු එකක්‌ - අමිලාගේ පියා

අනේ මගේ දුවගේ මූණ තැලිලා ඔළුව පිටුපස තැලිලා තිබුණා...

අනේ මගේ රත්තරං දුව බිලිගත්තු මේ ලොරි රථය පදවලා තිබෙන්නේ නියම රියෑදුරු නොවෙයි. රිය සහායකයා. ඔහුට රියෑදුරු බලපත්‍රයක්‌වත් නැහැ කියලා පොලිසිය මට කිව්වා. 

නත්තල් දවසේ උදේ පත්තරේ වැඩට ගිය මගේ දරුවාට වෙච්ච දෙයක්‌. කොහොම වුණත් මගේ දුවගේ මරණය ගැන මට සැකයක්‌ තිබෙනවා.

අපරික්‍ෂාකාරී අන්දමින් පැදවූ කැන්ටර් ලොරි රථයකට යටවී කොළඹ රොස්‌මිඩ් පෙදෙස, විඡේරාම ප්‍රදේශයේදී (25 වැනිදා) උදේ රැකියාවට යමින් සිටි "මව්බිම" සහ "සිලෝන් ටුඩේ" පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදිනියක වූ අමිලා ජයසිංහ මෙනවිය මියයැම සම්බන්ධයෙන් මියගිය අමිලාගේ පියා වන පී. එම්. ජයසිංහ මහතා දැඩි කම්පනයෙන් යුතුව එසේ පැවසුවා.

මාධ්‍යවේදිනී අමිලා ජයසිංහගේ හදිසි වියෝව අසා මාධ්‍යවේදීන් ප්‍රදේශවාසීන් අමිලාගේ මව් වන අනෝමා ජයසිංහ මහත්මිය ආච්චි අම්මා වන කමලා මහත්මියද ඥතීන්ද මෙම වියෝව දරාගත නොහැකිව හඬා වැළපෙනු දක්‌නට ලැබිණි.

මෙහිදී තවදුරටත් කතා කළ මාධ්‍යවේදිනී අමිලාගේ පියා වන ජයසිංහ මෙසේ පැවසුවා.

මගේ රත්තරං දුව කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගත්තේ. දුව ඉගෙනීමට දක්‍ෂයි. දුව ඒ දවස්‌වල හැම පත්තරේකටම ලිපි ලිව්වා. පසුව මව්බිම, සිලෝන් ටුඩේ පුවත්පත් ආයතනයේ
වැඩට ගියා. මේ කෙටි කාලය තුළ දුවට එහි හැම කෙනෙක්‌ම ආදරේ කළා. දුවට එහි මිතුරු මිතුරියන් ගොඩක්‌ හිටියා. 

අපිට කිරුළපන තක්‍ෂිලා පෙදෙසේ හා පුස්‌සැල්ලාවේ ගෙවල් තිබෙනවා. දුව කිරුළපන ගෙදර ඉඳලයි පත්තරේ වැඩට ගියේ. මට තව එක්‌ දුවෙක්‌ ඉන්නවා. ඇය තිමිලා. තිමිලා පවුලේ වැඩිමලා. මියගිය අමිලා දුව පවුලේ බාලයා.

මගේ රත්තරං අමිලා දුවට මේ අනතුර වෙලා කියලා මට ආරංචි වෙනකොට මම ව්‍යාපාරික කටයුත්තකට ගිහිල්ලයි හිටියේ. පස්‌සේ මම ඒ මොහොතේම ගියා දුව බලන්න. අනේ මගේ දුවගේ මූණ තැලිලා ඔළුව පිටුපස තැලිලා තිබුණා.

මේ අනතුරට සම්බන්ධ ලොරි රථය පදවලා තිබෙන්නේ නියම රියෑදුරු නොවෙයි කියලා මට පොලිසිය කිව්වා. ලොරි සහායකයි මෙය පදවා තිබෙන්නේ. අඩුම තරමින් රියෑදුරු බලපත්‍රයක්‌වත් තිබිලා නැහැ. දුව මේ අනතුරින් බේරෙන්න බැරි තැන කහ ඉර ළඟ තිබූ යකඩ කණුවේ එල්ලී බිමට පහත්වෙලා තිබෙනවා. 

ඒ සමගම තමයි ලොරි රථය පදික වේදිකාවට ඇවිත් දුව එල්ලී සිටි යකඩ කණුවත් කඩාගෙන දුවත් යටකරගෙන අසල නිවසක තාප්පයක්‌ද කඩාගෙන ගිහින් තිබෙන්නේ කියලා මට සිද්ධිය වූ ස්‌ථානය අසල සිටි අය කිව්වා. දුව ලොරියට හා තාප්පය අතරටද හිරවී තිබෙනවා.

මේ මරණය ඕන කමින්ම කරපු එකක්‌ හැටියටයි මට හිතෙන්නේ. මොකද මාත් වාහන පදවන කෙනෙක්‌නේ. මේ අනතුර සිද්ධවුණු තැනට මා ගියා බලන්න. අනතුර වෙලා තිබෙන ආකාරය දැක්‌කම මේ මරණය ගැන මට සැකයක්‌ තිබෙනවා.

මීළඟට හැඬූ කඳුළින් කතා කළේ අමිලාගේ මව් වන අනෝමා ජයසිංහ මහත්මියයි.

25 වැනිදා උදේ 9.20 ට විතර දුව මගේ මූණ ඉඹලා ඉක්‌මනට එන්නම් කියලයි ගියේ. ඒ ගිය මගේ චූටි දුවට මොකක්‌ද දෙයියනේ මේ සිද්ධ වුණේ.

අනේ මගේ දුවේ ඔයා කොච්චර අහිංසකද. දුව මට හැම දෙයක්‌ම කියනවා. එයා ළඟ රහස්‌ නැහැ. දුවට ඇගේ අක්‌කත් ආදරෙයි. දෙන්නාට දෙන්නා පුදුම යාළු කමක්‌ තිබුණේ. දුව නැතුව දැන් අපිට පාළුයි. මේ වැරදි කරපු අයට උපරිම දඬුවම් දෙන්න කියලා මා ඉල්ලනවා.

"සිලෝන් ටුඩේ" පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ගගනි වීරකෝන් මෙසේ පැවසුවාය.

අමිලා කියන්නේ හරිම අහිංසක කෙනෙක්‌. ඇයට මේ වෙච්ච දේ ගැන අපිට දරාගන්න බැහැ. ඇය සෞඛ්‍ය, වාරිමාර්ග, ආර්ථික කටයුතු සම්බන්ධවයි ප්‍රවෘත්ති ලිව්වේ. උදේ පාන්දර වැඩට ආවාම ඇය නැවත ගෙදර යන්නේ රෑ වෙලා. 

මේ සිද්ධිය වුණු 25 වැනිදා නත්තලට සුබ පතලා ඇය මට එස්‌.එම්.එස්‌. එකකුත් එවලා තිබුණා. එදා උදේ 11.00 ට විතර මට ආරංචි වුණා අමිලා රිය අනතුරකට ලක්‌වෙලා කියලා.

ඇයට මාධ්‍ය මිතුරෝ සෑහෙන පිරිසක්‌ හිටියා. පුදුම චරිතයක්‌. හැම කෙනෙකුටම ඇය උදව් කරනවා. ඇය සේවය කර මාස හය තුළ හොඳ ප්‍රවෘත්ති රැසක්‌ ලියා පළ කළා.

මාධ්‍ය වේදිනී අමිලා ජයසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (27 වැනිදා) සවස දැල්තර පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all