Photobucket

Monday, March 4, 2013

උඩින් එන්න මත්තල ලෑස්තියි

ලබන 18 වැනිදා විවෘත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවසන්ව ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ‘සිළුමිණ’ට පැවැසීය. මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව ඇන්ටනොව් 225, ඒ380 වැනි ලොව විශාලතම ගුවන් යානා ගොඩබෑමට මෙන්ම අහසට නැංවීම ද හැකිවීම ද මෙහි සුවිශේෂත්වයකි. 

මත්තල ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ තාවකාලිකව වසා දමන බවට පැතිර ඇති රාවය මුළුමනින් ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපළේ සියලු ගුවන් ගමන් සිදුවන්නේ බණ්ඩාරනායක ගුවන් තොටුපළ හරහා බවත් කීය. ඒ අනුව ෂැංහයි, බීජිං, මාලේ, රියාද් මෙන්ම බුද්ධගයා දක්වා යන ගුවන් ගමන් බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිට මත්තල ගුවන්තොටුපළ හරහා ක්‍රියාත්මක වෙයි.

මත්තල ගුවන්තොටුපළේ පළමු අදියරේ දී වසරකට මිලියනයක මගී ධාරිතාවක් රඳවා ගත හැකි පරිදි සකස් කර ඇති අතර ගගන යාත්‍රාංගණයේ වරකට ගුවන් යානා 18ක් පමණ මෙහි නවතා තැබිය හැක.

ගුවන්ගතවන මඟීන් හා මෙරටට පැමිණෙන මඟීන් මුසු නොවන ආකාරයෙන් මත්තල මඟී පර්යන්තය නිර්මාණය කර ඇත.

ගුවන් සේවා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසුයේ මේ වන විට 2020 වසරට ගැළපෙන ලෙස බණ්ඩාරනායක ගුවන්තොටුපළේ නවීකරණ කටයුතු සිදු කරගෙන යන බවයි. 2009 දී බණ්ඩාරනායක ගුවන්තොටුපළ වර්ෂයක මඟී ධාරිතාව මිලියන 4.24ක් ද, 2011 දී එය මිලියන 6.4ක් ද 2012 දි එය මිලියන 7ක් දක්වා ද වර්ධනය වී ඇත. නමුත් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ වර්ෂයකට උපරිම මගී ධාරිතාව මිලියන 6ක් විය යුතු හෙයින් වර්තමාන මඟී ධාරිතාවයට ගැළපෙන ලෙස එය නවීකරණය කැරෙන බව කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all