Photobucket

Friday, March 1, 2013

සියලු සිසුන්ට කෙළිබිම අනිවාර්යයි

සියලුම පාසල් සිසුන්ට මේ වසරේ සිට කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කෙ‍රෙන කැබිනට් සංදේශයට ඊයේ ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවුණි.

එමෙන්ම සියලු වෘත්තීය පුහුණු ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ද මෙය අනිවාර්ය වන අතර ඔවුන්ට කිසියම් වු ක්‍රීඩාවක නිරතවීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, සහතික හා ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීමටත් එම කැබිනට් සංදේශයේ සඳහන්ව ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන යන මහත්වරු ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ලෙස මෙය ඉදිරිපත් කර තිබුණි. රාජ්‍ය ‍නොවන උසස් අධ්‍යාපන ආයතනවල දරුවන්ටද මෙය අදාළ වන අතර ඔවුන්ට ක්‍රීඩා පහසුකම් සැලසීමටද පියවර ගැනේ. 

ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයක් ලෙස ක්‍රීඩාව හැදැරීමට අවස්ථාව සැලසේ. මේ වසරේ සිට සෑම පාසල් දරුවෙකුටම ක්‍රීඩා විෂයයට අදාල ශාරීරික යෝග්‍යතා ප්‍රගති වාර්තා පොතක් නිකුත් කෙරේ. එමගින් සෑම පාසල් සිසුවෙකුගේම ශාරීරික යෝග්‍යතාව වසරකට වරක් ඇගැයීමට ලක් කිරීමට කටයුතු යෙදේ.

වයස අවුරුදු 13ට අඩු පාසල් සිසුන්ට තරගකාරී ක්‍රීඩා තහනම් කිරීමට හා 5වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සියලු සිසුන් ශාරීරික යෝග්‍යතා පරික්ෂණයකට ලක්කොට ඉදිරියට යා හැකි සුදුසු ක්‍රීඩාවක යොමු කිරීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹුණි. පාසල් සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ක්‍රීඩා ජයග්‍රහණ පිළිබඳ විශේෂ ඇගැයීමක් සිදුකර යම්කිසි ලකුණු ප්‍රතිශතයක් ලබාදීම‍ටද අවස්ථාව උදාවේ. 

එහිදී ජාත්‍යන්තර මට්ටමේ ලබාගත් ජයග්‍රහණ සැලකිල්ලට ගැනේ. විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන කාලයකදී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලියකට සුදානම්වීම පිණිස ජාතික ක්‍රීඩා සංචිතයක පුහුණුව ලබන්නේ නමි එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට, ඉගෙනුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍යනම් තවත් වසරකින් විශ්ව විද්‍යාල කාලය දීර්ඝ කිරීමද සිදුවේ.

රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතනවල රැකියා ලබාදීමේදී ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ අනුග්‍රහය ලබාදීමටද කැබිනට් සංදේශයෙන් අනුමත විය. රටපුරා ඇති සියලු ද්විතියික පාසල්වලට ක්‍රීඩා ප්‍රායෝගික පුහුණුවීම් වෙනුවෙන් ගුරුවරු 250ක් බඳවා ගැනීම එහිදී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛත්වය දීම සිදු කෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all