Sunday, March 10, 2013

සිංහල කෙල්ලො කසාද බැඳලා රූමස්‌සල ඉඩම් අල්ලන සුද්දෝ

රූමස්‌සල කඳුවැටියට ඉහළින් වූ නිල් පැහැයෙන් යුත් වළාකුළු අතරින් හිරු එබිකම් කරමින් සිටී. කඳු මුදුනේ සිට බලන විට ඈත ක්‍ෂිතිජය තෙක්‌ පැතිරී විසිරී ඇත්තේ තෙරක්‌ නොපෙනෙන මහකරදිය කඳය. මෙකී කඳු වැටිය කරදිය කඩ වටා නැගුණු පවුරක්‌ වැනිය.

කඳු දෙබොක්‌කාවට මැදිව පිහිටා ඇත්තේ කුඹුරුයායකි. කෙළවරක කිරිගොට්‌ටක්‌ හැඩයෙන් යුත් වතුර වළක්‌ දක්‌නට ඇත්තේය. කොල්ලෝ කුරුට්‌ටෝ පිරිසක්‌ එක්‌වී වතුර වළේ සිටින මාළු පැටව් අල්ලති. ඔව්හු කුඩා දණ්‌ඩි පැටව් වතුර පිරවූ බෑගයකට දමති.

මේ දසුන් දකින විට මගේ මතකයට ආවේ අපගේ කුඩා කාලයයි. කොල්ලෝ කුරුට්‌ටෝ කුඹුරුයායේ දුව පැන ඇවිදිමින් කරන මේ ක්‍රියාවන් දෙස ඩෝංගා කොටයක්‌ උඩ ඇන තබාගෙන අයකු බලා සිටියි. අපි ඔහු ළඟට කිට්‌ටු වීමු. ඔහු රංජිත් වේහැල්ලය. රූමස්‌සල හා ඒ අවට ප්‍රදේශවල නම් රංජිත් අයියා ගැන නොදන්නා කෙනෙක්‌ නොමැති තරම්ය.

රංජිත් අයියා බුලත් විටක්‌ හපමින් සිටියේය. ඔහු ඇඟිලි යුග මුඛයෙහි තබා දෙතොල් තදකොට සිහින් කෙළ පහරක්‌ ඈතට විදියි. බුලත් කහට බැඳී තිබූ දසන් පෙන්වා හේ මා සමග සිනාසුනේය. බෙහෙත් හේත් සඳහා අවශ්‍ය ඖෂධ පැළෑටි සපයා ගැනීමට ඈත දුර බැහැර ප්‍රදේශවල අයද රූමස්‌සලට එන්නේ රංජිත් අයියා සොයා ගෙනය.

රංජිත් අයියා රූමස්‌සල කඳුයායේ තිබෙන ඖෂධ පැළෑටි ගැන පරතෙරටම දන්නේය. මෙහි වැවෙන ඕනෑම ඖෂධ පැළෑටියක්‌ ඔහු හොඳින් හඳුනන්නේය. අතක පයක කැඩුමක්‌ බිඳුමක්‌ වූ විට පත්තුවක්‌ බැඳීමට අවශ්‍ය වූ විට ඖෂධ පැළෑටි සොයා ගැනීමට ජනී ජනයා රංජිත් අයියා සොයාගෙන පැමිණෙති.

මේ කඳුවැටියේ තිබුණු දුර්ලභ ගණයේ ඖෂධ පෑළැටි වඳවෙලා ගිහින් කැලෑව එළි පෙහෙළි කිරීම තමයි මේ සේරටම මුල. කිරිමැඩියා, කොතලහිඹටු, වෙනිවැල්ගැට, කළුවැල්ලමීගිරිය, සුදුවැල්ලමීගිරිය යන ඖෂධ පැළෑටි නෙවෙයි ගොනිකා වැලක්‌වත් දැන් හොයාගන්න නැහැ. රංජිත් අයියා රූමස්‌සල කඳුයායේ ඇති ඖෂධ පැළෑටිවලට වී ඇති වින්නැහිය ගැන කීවේය.

සැබවින්ම මෙකී කඳුවැටියේ දුර්ලභ ඖෂධ වර්ග බොහෝමයක්‌ ඇති බව ඈත අතීතයේ සිටම ජනී ජනයා තුළ විශ්වාසයක්‌ පවතී. ඒ විතරක්‌ නොව දිවයිනේ අන් කිසිදු ප්‍රදේශයක දක්‌නට නොමැති දුර්ලභ බෙහෙත් පැලෑටි මෙකී කඳු වැටියේ ඇති බව දක්‍ෂ වෛද්‍යවරුන් හා පරිසරවේදීන් විසින්ද සොයා ගෙන තිබේ.

හිමාලය අඩවිය වැනි සුවිශේෂී වූ පරිසර පද්ධතියන්හි පමණක්‌ වැවෙන ඖෂධ පැළෑටි මෙහි ඇති නිසා එම බෙහෙත් පැළ සොයා ජනී ජනයා රූමස්‌සලට පැමිණීම අතීතයේ සිට සිදුවන්නකි.

මේ කඳුවැටියේ බෙහෙත් පැළෑටි පන්සියයක්‌ විතර තියෙන බව කියනවා. ඉන් බෙහෙත් පැළෑටි පනස්‌හයක්‌ හිමාලය අඩවිය වැනි පරිසර පද්ධතිවල වැවෙන බවටත් හඳුනාගෙන තියෙනවා. කියන්න කනගාටුයි බොහෝ ඖෂධ පැළෑටි වඳවෙලා ගිහින්. මෙහි ඉතිරි වෙලා තියෙන බෙහෙත් පැළෑටි ටිකවත් රැක ගැනීමට ඒ ගැන පර්යේෂණයක්‌ කළ යුතුයි. මෑත කාලීනව කිසිදු පර්යේෂණයක්‌ කරලා නැහැ. එය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පරිසරවේදීන්ගේ හා පැළෑටි විද්‍යාඥයින්ගේ වගකීමක්‌. රංජිත් අයියා කියන්නේය.

රංජිත් අයියා ඇන තබාගෙන සිටින ඩෝංගා කොටය අසල දක්‌නට ඇත්තේ තුඹසකි. මේ තුඹසේ නයි ඉන්නවාද. මා රංජිත් අයියාගෙන් ඇසුවේය. මොන නයිද මහත්තයා. මේ තුඹසට දැන් වසර විසිපහක්‌ විතර වෙනවා. සුද්දෝ මේ තුඹස දැකලා පුදුම වෙනවා. ඡායාරූපත් ගහගෙන යනවා. ඒත්a දැන් එන සුද්දෝ හරි පෙරේතයි. ඉස්‌සර එන සුද්දෝ වගේ වියදම් කරන්නේ නැහැ. රංජිත් අයියා මාතෘකාව වෙනත් අතකට හරවමින් මා සමග එසේ කීවේය.

රූමස්‌සල කඳුයාය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ පාරාදීසයකි. මෙහි ඇති ගැමි පරිසරයට හා නිස්‌කලංක බවට දෙස්‌ විදෙස්‌ සංචාරකයින් දැඩි කැමැත්තක්‌ දක්‌වති. ඒ විතරක්‌ නොව සතියේ නිවාඩු දිනවලදී හා පෝය දිනවලදී මානසික සුවය පතා දෙස්‌ විදෙස්‌ සංචාරකයින් මෙහි පැමිණීමට පුරුදුව සිටිති.

යද්දෙහිමුල්ල හා උණවටුන වැල්ලේ පැත්තේ හෝටල්වල රාත්‍රියට ඩිස්‌කෝ ඩාන්ස්‌ තියෙනවා කන් බිහිරිවන තරමට තමයි රතිCඳ්Cඳා පත්තු කරන්නේ. කනක්‌ ඇහිලා ඉන්න බැහැ. රාත්‍රියට නිදා ගන්න බැහැ. ඩිස්‌කෝ ඩාන්ස්‌ වසංගතයක්‌ වෙලා. ඇත්තටම සුදු ජාතිකයන් පවා මේවාට කැමැති නැහැ. සුද්දෝ ඇවිත් අපට කියනවා මේ පැත්තේ හෝටල් කාමර ගහන්න කියලා. රංජිත් අයියා එසේ කියාගෙන ගියේ දැඩි ආවේගයෙනි.

ඉක්‌බිති අපි රංජිත් අයියාගෙන් සමුගනිමින් කඳුවැටිය දිගේ ඉදිරියට ගමන් කළෙමු. කඳුවැටිය පාමුල පිහිටි සුදුවැල්ල හා කුඩාවැල්ල සුන්දර දසුනකි. ඒ ආසන්නයේ දක්‌නට ඇත්තේ බොනවිස්‌ටා කොරල් පරයයි. රූමස්‌සල කොරල් පරයේ මසුන් විශේෂ 560 ක්‌ ද ජීවි කොරල් ගහණය සියයට හැත්තෑවකට වැඩි බවද පරිසරවේදීන් විසින් කරනු ලැබූ අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. සැබන්ම මෙය ජෛව විවිධත්වයේ විශ්මිත දැක්‌මකි.

ගාලු බොක්‌ක පැත්තට වන්නට කඳුවැටියේ පාමුල නිවාඩු දිනවලදී තරුණ පෙම්වතුන්ගෙන් පිරී ඉතිරී යති. ඇතැම් තරුණ ජෝඩු මෙහි හැසිරෙන්නේ ඉතා අශෝභන අයුරිනි. පාසල් පෙම්වතුන්ද මේ අතර නැතුවා නොවේ. මීට සති කිහිපයකට පමණ ඉහතදී තම පෙම්වතිය සමග මෙහි පැමිණි පාසල් සිසුවෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ රළ පහරට හසුවී ගසාගෙන යැම නිසාය.

අපි මහවැල්ල දිගේ ඉදිරියට ගමන් කළෙමු. මෙහි එක්‌ පසකින් දක්‌නට ඇත්තේ මිරිදිය පොකුණකි. 16-18 වැනි සියවස්‌ අතර කාලයේදී ගාලු වරායට පැමිණි නැව් සඳහා ජලය ලබා ගැනීමට මෙකී පොකුණ භාවිතා කොට තිබේ. මෙම කාලයේදී ගාලු වරාය පාලනය කරනු ලැබුවේ යුරෝපීයන් විසිනිs. දැනටද මෙකී දිය පොකුණට අමතරව පැරණි ජැටියෙහි ගරාවැටුණු කොටසක්‌ද දැකගත හැකිය.

මහවැල්ලෙන් ගොඩවී කුලුනුකන්ද දෙසට ගමන් කළෙමු. කලක පටන් අපි හොඳින් හඳුනන පරිසරවේදී ටී. එම්. වික්‍රමපාල මහතා හමුවූයේ මේ අතරතුරේදීය. වික්‍රමපාල අයියා රූමස්‌සල කඳුවැටියට එල්ලවී ඇති තර්ජන පිළිබඳ තොරතුරු රැසක්‌ මා සමග කීවේය.

මීට වසර හතලිහකට පමණ ඉහතදී මේ වනාන්තරය නොඉඳුල් වනාන්තරයක්‌ දැන් රූමස්‌සල කඳුවැටියේ ස්‌වභාවික පරිසරය විනාශ කොට ගොඩනැඟිsලි ඉදිකරනවා. ස්‌වභාවික මංපෙත් විනාශ කරනවා. මේ විදියට ගියොත් රූමස්‌සල අනාගතයේදි කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ බවට පත්වේවි. ඒ විතරක්‌ නොවෙයි. විදේශිකයන් විසින් මේ කඳුවැටියෙන් ඉඩම් මිලදී ගැනීමේ ජාවාරමක්‌ ජයටම සිදු කරනවා. සුද්දොa ඉඩම් ගන්නේ සිංහල කෙල්ලෝ බැඳගෙන ඇතැම් කෙල්ලන්ගේ නමින්ද ඉඩම් ගන්නවා. වික්‍රමපාල එසේ අප සමග කියාගෙන ගියේය.

රූමස්‌සල කඳුයායේ පදිංචිව සිටින ගැමියන්ගේ ගැමිකම, ගැමි සංස්‌කෘතිය තවමත් විනාශ වී නැත. දැන් දැන් මේ කඳුයායේ සිදුවන විවිධ ක්‍රියාවන් නිසා මෙහි ස්‌වභාවික පරිසරය විනාශවීමට මෙන්ම සමාජ විරෝධී ක්‍රියාකරුවන්ගේ තෝතැන්නක්‌ වීමටද ඉඩ තිබේ.

මෙහි නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවටද ඇතැම්හු පවසති. වික්‍රමපාල අයියා සමග කථාබහ කරමින් සිටියදී එජනිස සන්ධානයේ හබරාදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමල් ප්‍රියංකර මහතාද අපට හමුවිය.

මේ කඳුවැටියේ ඉඩම් ටික කුණු කොල්ලයට විකිණෙනවා. දැනටමත් විදේශිකයන් විසින් කුලුනකන්ද ප්‍රදේශයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක්‌ මිලදී ගෙන තියෙනවා. ඇතැමුන් මෙම ඉඩම්වල හෝටල්ද ඉදි කරනවා. මේ විදියට ගියොත් රූමස්‌සල අපට අහිමි වේවි. මෙහි දැනට තියෙන සුන්දරත්වය නැති වේවි. සුද්දන්ගේ කොලණියක්‌ බවටද රූමස්‌සල පත්වෙන්න පුළුවන් කමල් ප්‍රියංකර කීවේය.

ඉන් පසු අපි රූමස්‌සල විවේකාරාම විහාරස්‌ථානය වෙත ගියෙමු. ත්‍රිරෝද රථයකින් පැමිණි ඇමරිකානු ජාතික විදේශීය යුවළක්‌ තම දරු දෙදෙනා සමග විහාරස්‌ථානය නරඹමින් සිටියෝය. විහාරස්‌ථානයේ පොඩි හාමුදුරුනමක්‌ මෙකී යුවළට ආශිර්වාද කොට පිරිත් නූල් ද ගැටගැසූහ.

මේ අතරේ මෙකී විදේශීය යුවළ රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරු මා සමග කථාවට වැටුණේය.

දැන් අපේ රටට එන සුද්දොa හරිම පෙරේතයි. ඔවුන්ද ආර්ථික අර්බුදයෙන් පෙළෙනවා. වෙනදා විහාරස්‌ථානයකට විදේශිකයකු ආ විට රුපියල් දෙතුන් දහසක්‌ පරිත්‍යාග කරනවා. දැන් බලන්න මේ ජෝඩුව පිං කැටේට දැම්මේ කීයද කියලා. ත්‍රිරෝද රථ රියදුරු කීවේය.

විදේශීය කාන්තාව තම මුදල් පසුම්බිය ඇර රුපියල් විස්‌සේ කොල කිහිපයක්‌ පිංකැටයට දැමුවාය.

රූමස්‌සල විවේකාරාමාධිපති ඇත්තිලිගොඩ ශාසනතිලක හිමියන් මා සමග කීවේ මෙයයි.

ඇත්තටම දැන් රූමස්‌සල විදේශිකයන්ගේ පාරාදීසයක්‌ බවට පත්වෙලා. ඉන්දියාවෙන් එන විදේශිකයන් විශාල පිරිසක්‌ සෑම වසරකම මෙහි පැමිණෙනවා. කඳුවැටියට එන්න තියෙන ප්‍රධාන මාර්ගය කාපට්‌ කරන්න කියලා කැඩුවා. දැන් මාස හයක්‌ වෙනවා තවමත් පාර හැදුවේ නැහැ. ත්‍රිරෝද රථයකටවත් එන්න බැහැ. ශාසනතිලක හිමියන් එසේ කීහ.

සැබවින්ම රූමස්‌සල කඳුවැටිය ස්‌වභාව ධර්මයේ අපූරු නිමවුමකි. මෙය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම බලධාරීන්ගේ වගකීමකි. මෙහි අසිරිය විඳ දරා ගනිමින් අපි කඳුවැටියෙන් පහළට බැස්‌සෙමු.
Share on :

1 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all