Photobucket

Thursday, February 21, 2013

මුවා උගේ අං දෙක බිම වැටුන හාමුදුරුවන්ගේ බෙල්ලට දමා ඉස්සුවා

“වන සතුන් මිනිසුන් සමග එක්ව වාසය තිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ශෝචනීය මරණය සිදුව ඇතැයි ද විශේෂයෙන් විහාරස්ථාන භූමියක දී අප සමාජය කවුරුත් ගරු කරන හිමිනමක් මෙසේ අවාසනාවත්න ලෙස අපවත් වීම කණගාටුවට කරුණක් බවත්තිස්සමහාරාම මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එම්.එන්.එච්. ක්‍රිෂාන්ත මහතා පවසයි. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ප්‍රකාශ කළේ මුවකුගේ අං පහරකින් අපවත් වූ 17 වියැති ඇතිලිවැව පේමානන්ද සාමණේර හිමි නමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමිනි. තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ.ජී.සී. නෙරංජන් මහතා ඉදිරියේ තිස්සමහාරාම මූලික රෝහලේ දී මරණ පරීක්ෂණය පැවැත්විණි. 

ඇතිලිවැව පේමානන්ද ස්වාමීන් වහන්සේ ඉගෙනුම ලබන ලුණුගම්වෙහෙර විද්‍යා ගවේෂී පිරිවනේ දී සුරතලයට ඇති කරන මුවකු ඇනීමෙන් උන්වහන්සේ බරපතල තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත් වී ඇත. මෙම පිරිවෙණේ දීර්ඝ කාලයක් තිස්සේ මුවකු සුරතලයට ඇති කරන අතර දැනට ඌ අං දෙකක් සහිත විශාල සත්ත්වයෙකි. විද්‍යා ගවේෂී විහාරාධිපති ඇල්පිටියේ කෝලිත හිමියන් පවසන්නේ එම මුවා කුඩා කල සිටම කෑම ලබා ගැනීමට විහාරස්ථානයට පැමිණීමට පුරුදු වී සිටි බවයි. දිගින් දිගටම කෑම ලබා දීම නිසා ඌ නිදහසේ විහාරස්ථානයේ ගැවසුන බවයි. මෙම මුවා මෙයට පෙර අවස්ථා 13 කදී කුඩා ළමුනට හා විහාරස්ථානයට පැමිණෙන අයට පහර දී ඇති බවත් මේ 14 වන අවස්ථාව බවත් ගම්වැසියෝ පවසති. මෙම මුවාගෙන් කරදර සිදුවන නිසා ඌ විහාරස්ථාන භූමියෙන් ඉවත් කරන ලෙස ගම්මු කිහිප විටක් ම විහාරාධිපති හිමියන්ට පවසා ඇත. එක් අවස්ථාවක වනජීවී නිලධාරීන් පැමිණ මුවා රැගෙන යාමට උත්සාහ කර ඇතත් ඒ අවස්ථාවේ ඌ රෝගාතුරව සිටි නිසා වැළකී ඇත.
 
මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ලුණුගම්වෙහෙර විද්‍යාගවේෂී පිරිවෙණේ පරිවේණාධිපති හිරිපිටියේ සරණ හිමි මෙසේ කීහ.

 “සිද්ධිය වූ දා සවස 3.15 ට මට නියමිත කාලඡේදය සඳහා පන්තියට ආවා. එම පන්තියේ ඉගෙනුම ලබන පේමානන්ද පොඩි හාමුදුරුවෝ වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසා අවසර ඉල්ලුවා. පොඩි හාමුදුරුවෝ වැසිකිළිය පැත්තට ගියා. එම වැසිකිළිය පන්ති කාමරයට පෙනෙන දුරක තියෙන්නෙ. ටික වේලාවකින් ශබ්දයක් ඇසී බලන විට පොඩි හාමුදුරුවන් ඉදිරියට මුවා එනවා දැක්කා. මුවා අනින්න ඹළුව පහත් කරන කොට ම පේමානන්ද පොඩි හාමුදුරුවෝ මුවාගේ අං දෙකින් අල්ලලා කැරකෙව්වා. එතකොටම පොඩි හාමිදුවෝ බිම වැටුණා. මුවා පොඩි හාමුදුරුවන්ගේ බෙල්ල පැත්තට අං දෙක දාල උස්සනවා මම දැක්කා. මං එතැනට යනකොට බෙල්ලෙන් විශාල ලෙස ලේ ගලමින් තිබුණා. පේමානන්ද හාමුදුරුවන් පොරවා ගෙන හිටපු සිවුරෙන් කෑල්ලක් ඉරල බෙල්ල ළග තුවාලය ඔතල අයිස් වතුර තිවුවා. ඒ එක්කම විහාරස්ථානෙ තිබුණු පන්නගමුව ජයා අයියගෙ වාහනෙන් ලුණුගම්වෙහෙර රෝහලට ගෙනාවා. මම ආවෙ වෙනත් වාහනේක ඊට පිටිපස්සෙන්. ලුණුගම්වෙහෙර රෝහලට ඇතළත් කළ පොඩි හාමුදුරුවෝ විනාඩි 45 කින් විතර අපවත් වුණා කියලා දොස්තර මහතා කිව්වා

 ලුණුගම්වෙහෙර රෝහලේ ශීතාගාර පහසුකම් නොමැති හෙයින් පේමානන්ද හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තිස්සමහාරාම මූලික රෝහල වෙත යොමු කර තිබුණි. 

 පවත් වූ සාමණේර හිමියන්ගේ මෑණියන් වන රත්නායක මුදියන්සේලාගේ රේණුකා ( අවුරුදු 35 ) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.

මේ අපවත් වෙලා ඉන්නෙ මගේ ලොකු පුතා වුණු පොඩි හාමුදුරුවො. පොඩි හාමුදුරුවන්ගෙ තාත්තා ජීවතුන් අතර නෑ. මම ඒජන්සියක රැකියාව කරන්නෙ. පන්නගමුවෙ දියබැඳියෙ විහාරයේ මාගම මහානාම හාමුදුරුවො ගාව අවුරුදු 9 දී මහණ කළා. දැන් අවුරුදු 8 ක් වෙනවා මහණ වෙලා. පිරිවෙණේ හොඳින් ඉගෙනීම් කටයුතු කළා. හැම මාසෙකටම සැරයක් ඇතිලිවැව ගෙදර ඇවිත් අපේ දුක සැප හොයල බලල යනවා. ඒ වගේ ම ටෙලිෆෝන් එකෙන් නිතර කථා කරනවා. ඊයෙ ගෙදරට කෝල් එකක් ආවා. පිරිවනේ ගුරුවරයෙක් කියලා කිව්වා. ගෙදර විස්තර ඇහුවා විතරයි. පස්සෙ නංගි මහානාම හාමුදුරුවන්‍ට කථා කළා. මහානාම හාමුදුරුවො නංගිට විස්තරේ කියලා තිබුණා. ඒ පිරිවෙණේ මුවෙක් ඉන්න බව මං දැනගෙන හිටියා. මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ

දියබැඳිය විහාරයේ විහාරාධිපති මාගම මහානාම හිමියන් පවසන්නේ මෙය ඉතාම කණගාටුදායක සිදුවීමත් බවත් ‍අපවත් වී ඇත්තේ තමාගේ මුල් ම ශිෂ්‍යයා වූ ඇතිලිවැව පේමානන්ද පොඩි හාමුදුරුවන් බවත් ය. විහාරස්ථානයේ කෙරෙන සංවර්ධන කටයුතු වලදී හැමදේම හොයල බැලුවෙ පොඩි හාමුදුරුවො තමයි. වයසට වඩා සෑහෙන්න වැඩ කරන්න පුළුවන්. ඒ වගේ හාමුදුරු කෙනෙක් නැතිවීම අපේ විහාරස්ථානෙට විතරක් නෙවෙයි සාසනේටත් දැරිය නොහැකි පාඩුවක්. මම විහාරස්ථානෙ නැති අවස්ථාවල සියලුම වත් පිළිවෙත් කරන්නෙත් පේමානන්ද හාමුදුරුවො. 

  ලුණුගම්වෙහෙර පොලීසියේ පො.කො. 51245 රම්‍යලාල් මහතා සාක්ෂි මෙහෙයවීය. 

පේමානන්ද පොඩි හාමුදුරුවන්ට ඇනීමෙන් පසු අදාල මුවා ගම්වැසියන් විසින් අල්ලා ලුණුගම්වෙහෙර පොලීසියට ගෙනැවිත් බාර දුන් අතර ලුණුගම්වෙහෙර පොලීසිය මගින් වනජීවී නිලධාරීන්ට බාර දුන් අතර මුවා ලුණුගම්වෙහෙර රක්ෂිතයට මුදා හැර ඇත.මුව අං පහරකින් ගෙල අභ්‍යන්තර රුධිර නාල හානි වීම නිසා සිදුව ඇති අභ්‍යන්තර රුධිර වහනය හේතු කොට ගෙන මෙම මරණය සිදුවී ඇති බව තිස්සමහාරාම දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එම්.එන්.එච්. ක්‍රිෂාන්ත මහතා නිගමනය කළේ ය. මුව අං පහරක් හේතුවෙන් රුධිර වහනය වීමෙන් සිදූවූ මරණයක් බවට තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ.ජී.සී. නෙරංජන් මහතා තීන්දු කළ අතර දේහය ආදාහනය සඳහා විහාරාධිපති මාගම මහානාම හිමියන් වෙත බාරදෙන ලෙස පොලීසියට දන්වා සිටියේ ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all