Photobucket

Thursday, February 21, 2013

මංගල දැන්වීම්වලින් විවාහ වී මුදල් භාණ්ඩ සොරාගත් අය දැලේ

පුවත්පත්වල පළ කෙරෙන මංගල දැන්වීම් හරහා තරුණියන් සමඟ විවාහ වී ඔවුන් සතු මුදල් හා වටිනා ද්‍රව්‍ය සොරාගන්නා පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මේ ආකාරයෙන් කසාද පහක් කරගෙන ගොස් තිබේ. ප්‍රථම විවාහයේ දරුවන් තිදෙනකු සිටින බවද වාර්තා වෙයි. මොහු එම තරුණියන්ගෙන් වටිනා රන් ආභරණ සහ මුදල් ලබාගෙන ඇති අතර එක් තරුණියකගෙන් රුපියල් ලක්ෂ හතක මුදලක් පැහැරගෙන ඇති සැකකරු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත සැකකරු දෙහිවලදී අත්අඩංගුවට ගනු ලැබුවේ වෙස් වලාගෙන සිටි පොලිස් කාන්තාවක් සමඟ විවාහ වීමට සූදානම් ව සිටියදීය. මොහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ආර්.එල්. රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට, පොලිස් පරීක්ෂක ප්‍රේමචන්ද්‍ර උප පොලිස් පරීක්ෂක පෙරේරා සහ සැරයන් 3035 යසරත්න යන අය වැටලීම සිදු කළහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all