"අධ්‍යාපන
කලාපයේ තරග සඳහා සහභාගි වෙන්න පුහුණු වෙමින් සිටි මගේ නංගී බඩ
රිදෙනවා කියමින් බිම පෙරළී කෑගැසුවා. පසුව අපි ගුරුවරුන්ගේ
සහායෙන් නංගී රෝහලට ගෙන යන අතරේ නංගී මියගියා. නංගිගේ මරණය ගැන
හිතාගන්නවත් බැහැ."

මොරටුව, මෝල්පේ පදිංචිව සිටි මියගිය අංජලී ඉසුරිකා සිසුවියගේ මව වන රේණුකා දමයන්ති මහත්මිය හා පියා වන අනිල් රංජිත් මහතා සිය දියණියගේ වියෝවෙන් කම්පාවට පත්වී සිටිනු දැකගත හැකි විය.
මෙහිදී තවදුරටත් කතා කළ මියගිය අංජලීගේ වැඩිමහල් සොහොයුරිය මෙසේද කීවාය.
"මියගිය මගේ නංගී අංජලී විල්ලෝරාවත්ත ඥනේස්‌වර බෞද්ධ විදුහලේ ඉගෙනුම ලැබුවා. 8 වැනි වසරේ ඉගෙනුම ලබන නංගී ක්‍රීඩාවට දක්‌ෂයි. නංගීට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. මමත් නංගී ඉගෙනුම ලැබූ පාසලේමයි ඉගෙන ගත්තේ. මේ සිද්ධිය වූ 18 වැනිදා මියගිය නංගීයි, මමයි, මාමාගේ දුවයි පාසල් ගියා. පාසල නිමවීමෙන් පසු අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා තරග සඳහා පුහුණු වීම් කටයුතු තිබුණා. මෙහිදී නංගී වට දෙකක් දුවමින් පුහුණු වුණා. ඇය එකවරම බඩ අල්ලාගෙන බඩ රිදෙනවා කියමින් බිම පෙරළී කෑගැසුවා. ඊට පසුව අපි ඇය රෝහලට ගෙන ගියා. ඒ ගෙන යන අතරේ නංගී මියගියා."
මෙහිදී හඬමින් අදහස් දැක්‌වූ මව් වන රේණුකා මහත්මිය මෙසේ කීවාය.
"දුවගේ මරණය හීනයක් වගේ. මෙච්චර හොඳට නිරෝගීව හිටපු දරුවාට වෙච්ච දෙයක්. දුව ක්‍රීඩාවට හරිම දක්‌ෂයි. අනේ මගේ රත්තරන් දුවට වෙච්ච දෙයක්."
මියගිය සිසුවියගේ මරණ පරීක්‌ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‌ෂිකා ශ්‍රීමතී රුද්‍රිගු මහත්මිය හමුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.
0 comments:
Post a Comment