Photobucket

Wednesday, February 20, 2013

විදෙස් රැකියා ඇමැති ඩිලාන්ට එරෙහි විශ්වාස භංග යෝජනාව එයි

හිස ගසා මරා දැමුණු රිසානා නාෆික් දැරිය බේරා ගැනිමට විදේශ සේවා කාර්යාංශය අ‍පොහොසත් වූ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 14 දෙනෙකු විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ‍ලේකම්වරයා වෙත පෙරේදා (19) බාර දී ඇත. අජිත් පී. පෙරේරා, ජෝශප් මයිකල් පෙරේරා, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නිරෝෂන් පෙරේරා, බුද්ධික පතිරණ, අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරාල, ඩී. එම් ස්වාමිනාදන්, චම්පිකා ප්‍රේමදාස, අනෝමා ගමගේ, ජයලත් ජයවර්ධන හා ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මන්ත්‍රීවරුන් විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.  

මන්ත්‍රීවරුන් 14 දෙනා විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙසේය. බාල වයස්කාර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වු රිසානා නාෆික් ඇය කිසිසේත් වගකිව යුතු නොවු අපරාධයක් සම්බන්ධයෙන් ලඝු විනිශ්චයකින් පසු මරණ දණ්ඩනයට යටත් කරන ලද බව මේ වන විට සියළු දෙනා දන්නා කරුණකි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ විෂය පථය යටතේ එන විදේශ සේවා කාර්යාංශය මුළුමනින්ම රිසානා නෆික්හට කිසිදු ආකාරය අර්ථාන්විත සහායක් ලබා දීමට අ‍පොහොසත් වු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට අකාලයේ අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු වුයේය යන්න ද සියළු දෙනා දන්නා කරුණකි. 

අමාත්‍යවරයා මෙම කරුණ මුළුමනින්ම සාවද්‍ය ලෙස කළමනාකරණය කරමින්, මෙහි දෝෂය සැබෑ ලෙසම ඔහු විසින් සෘජුවම දැරිය යුතු අවස්ථාවක හුදෙක් සෞදි රජයට දොස් පැවරීමේ නිරර්ථක වෑයමක යෙදෙමින් වීර ප්‍රකාශ නිකුත් කිරිමට පමණක් සීමාවී සිටියේය යන්න පැහැදිලි කරුණකි. එබැවින් ඩිලාන් පෙරේරා මහතා හට තවදුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන ඇමැතිවරයා වශයෙන් කටයුතු කිරිමේ ඇති හැකියාව පිළිබඳව විශ්වාසයක් නොපවතින බවට මෙම සභාව යෝජනා සම්මත කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all