Tuesday, February 26, 2013

මානව හිමිකම් සංවිධානයක සේවය කළ පමණින් මානව හිතවාදියකු වන්නේ නැහැ

වෘත්තීය අවශ්‍යතාවට මානව හිමිකම් සංවිධානයන්හි සේවය කළ පමණින් මානව හිතවාදියකු නොවන බවත් ඇතැම් විට ඔවුන් මානව හිතවාදීන් නොව ජාතිද්‍රෝහීන් වන අවස්ථාද තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පැවැසීය.

මානව හිතවාදියකුට ජාතියක්, ආගමක්, පන්ති භේදයක් නොමැති බවත්, ඔවුන්ට බලවතාද දුබලයාද කියා භේදයක්ද නොමැති බවත් ජනාධිපතිතුමා පැවැසීය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවැති 'රිස්ගෝ 2013' ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියේ සමාප්ත උළෙලේදී ජනාධිපතිතුමන් මේ බැව් පැවසීය.
මහනුවර බෝගම්බර පිටියේ පසුගියදා (22) පැවැති මෙම ජම්බෝරියේ සමාප්ත උළෙල සංස්කෘතික අංග, බාල දක්ෂයන්ගේ ආචාර පෙළපාළි, තූර්ය වාදක සංදර්ශන රැසකින් සමන්විතවී තිබිණි.
මේ සඳහා රටවල් 31 ක සහභාගීත්වය පැවැති අතර එම රටවල්හි නියෝජිතයන්ට ජනාධිපතිතුමන් අතින් සමරු පදක්කම් ලබාදීම සිදු විය.

මානව හිමිකම් සංවිධානය කියා සමහරු සංවිධාන රැසක් පිහිටුවාගෙන ඇති බවද එම සංවිධාන දෙස බැලීමේදී ඔවුන් ඉටු කරන කාර්යයන් පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය. බාලදක්ෂ ව්‍යාපාරය තුළ දරුවන්ට ලබාදිය යුතු ගුණාංග රැසක් පවතින බවත් මෙම ගුණාංග සමාජය තුළ පැතිරවීමට ඉඩ ලබා දිය යුතු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. මහනුවර ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ සමූහයට වසර සියයක් සම්පූර්ණ වන විට අපේ රටේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර 101යි. මේක ධර්මරාජ විද්‍යාලයට විශාල අභිමානයක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල එවකට විශිෂ්ටම බාලදක්ෂ සම්මානය වන රජුගේ ධජය වසර කිහිපයක් (1917, 18, 19 වසරවල) වසර තුනේම දිනා ඇත්තේ ධර්මරාජ විදුහලයි. මෙය තෙවරක් පිට පිටම එකම රටක් දිනා ගැනීම ලෝක වාර්තාවක් විය හැකියි. ආසියා ශාන්තිකර කලාපයේ විශිෂ්ටම බාලදක්ෂයා හැටියට 2009 ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ ධර්මරාජ බාලදක්ෂයෙකි. බේඩ්න්පවල් සාමි තුමා දෙවරක් මේ විදුහලට පැමිණ තිබෙනවා. එනිසා බාලදක්ෂ ව්‍යාපාරය හා ධර්මරාජ විදුහල ඓතිහාසික එකමුතුවකි.

ලෝකයේ බාලදක්ෂයන් ප්‍රමාණය කෝටි තුනකටත් වැඩියි. ඒ වගේම ශ්‍රි ලංකාවේ 45,000ක් පමණ බාලදක්ෂයන් ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ පාසල් දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන ස්වේච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරයයි.
 
බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ලංකාවේ බාල පරපුර අතරට ගෙනයාම ඉතාම ‍පහසු වගේම වටිනා කාර්යකි. රටක බාලදක්ෂ ව්‍යාපාරය ගොඩනඟන්න නම් මානව දයාව කරුණාව අගයන පිරිසක් බවට එම බාලදක්ෂ දරුවන් පත් විය යුතුයි. වසර දහස් ගණනක් මානව දයාව කරුණාව පදනම් කරගෙන ගොඩනැඟුණු ශිෂ්ටාචාරයක් තමයි ලංකාවට තිබෙන්නේ. ලංකාවේ රජය බැඳී සිටින්නේ මේ ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමටයි. බාලදක්ෂයකු ජනතාවට සේවය කිරීමට ප්‍රථම මානව හිතවාදියකු විය යුතුයි. කුඩා කාලයේ සිටම බාලදක්ෂ ව්‍යාපාර ඒ සඳහා උදව් කර ගත යුතුයි.

සාමූහික තීරණ ගැනීමට අන් අයගේ අදහස් වලට ගරු කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ කඳවුරු ජීවිතය තුළින් අත්දැකීම් ලැබෙනවා.

පෞද්ගලික සමත්කම් දුබලකම් හඳුනාගැනීමට එකතුවෙලා වැඩ කළ යුතුයි. එවිටයි සමත්කම් දුබලකම් පෙනෙන්නේ. සාමූහික බව හුරු වුණු අයයි රටට සමාජයට වැඩ කරන්නේ. දරුවන්ව හුදකලා කැර අධ්‍යාපනය ලබා දෙනවාට වඩා මේ කඳවුරු ජීවිතයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බාල කාලයේ මේ දරුවන් ගමේ රටේ ඇවිද නොයෙක් දේවල් කරනවා. සමාජයට පොඩි පොඩි උදව් කරනවා. සමාජයෙන් යහපත් දේවල් ගන්නවා. මේ නිසා එකතු වෙලා සමගියෙන් වැඩ කළ යුතුයි. එවිට තමයි දියුණු විය හැක්කේ.

කිසිම ‍භේදයක් නැතිව අපි කවුරුත් සාමයෙන් එකට ජීවත්විය යුතුයි. විවිධ රටවලින් පැමිණි බාලදක්ෂයින් මෙහි ඉන්නවා. ලෝකයේ විවිධ සංස්කෘතීන් මේ තුළ තිබෙනවා. ලෝකයේ කොතන සැරිසැරැවත් ‍තමන් උපන් රටේ සංස්කෘතිය සදාචාරාත්මක ගුණාංග රැකගත යුතුයි. එහිදී තමන්ට තමන්ගේ රටට නොගැළපෙන දේ කරන්න යන්න එපා. ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වන්නේ 1912 දී මාතලේ ප්‍රදේශයේදී. එය කන්ද උඩරටට ආඩම්බරයකි. බාලදක්ෂ ව්‍යාපාරය හරහා ශාරීරික හා මානසික සුවයක් ලබනවා. බාලදක්ෂ ව්‍යාපාරය තුළ අපේ රටේ දරුවන් කිසිම භේදයක් නැතිව එම ව්‍යාපාරය තුළ සහයෝගයෙන් කටයුතු කරනවා. බාලදක්ෂයන් තමන්ගේ ර‍ටේ ජනතාව ඉස්සරහා ලබාදෙන පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුවේ තිබෙන්නේ 'මගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට බාලදක්ෂ නීතියට කීකරු වීමටද මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සාහය යෙදීමට පොරොන්දු වෙමි' කියා. දරුවනේ අපේ ජීවිතයේ කොටසක් තමයි රට හා ආගමට අපි සේවය කිරීමේදී පෙරළා යම් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. රටින් ලැබිය යුතු යුතුකමට වඩා රටට අපෙන් විය යුතු යුතුකම මොනවාද කියා හිතන එක ඉතා වැදගත් කියා අපේ මුතුන් මිත්තන් කියා තිබෙනවා. අපේ මුතුන් මිත්තන් සේවය කළේ එහෙම හිතලා තමයි.

ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ කියා තිබෙනවා 'සිදු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම්' බාලදක්ෂයන් එහෙම හිතන්න ඕනෑ. ඒ වගේම මා ඔබේ තේමා ගීතය නැවත මතක් කරන්න කැමැතියි.

'ජයගෙන මිස නෑ පස්සට කවදත් යන්නේ එක මවුකුස දරුවෝ වගේ යමු එක රෑනේ. නැණ ගුණ තෙද වපුරා ශක්තියෙන් අපේ රන් හිරු අපි වෙමු ජය මේ නව යුගයේ'

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය විදුහල්පති ඩබ්. එම්. කීර්තිරත්න මහතා කතා කරමින් වසර තිහක කුරිරු යුද්ධය නිසා අපට රටක් ලෙස අහිමි වුණු බොහෝ දේ තිබෙනවා. අද ඒ සියලු කාර්යයන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ඉටු කරනවා. මේ රටේ දරුවන්ට සැබෑ නිදහස උරුම කර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසා දැයේ දරුවන්ගේ ඇට මස් ලේ නහර තුළ මහින්ද රාජපක්ෂ චරිතය ඇතුළත්ව තිබෙනවා.

බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාද මෙහිදී කථා ක‍ළ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් ලාල් ග්‍රේරු, එරික් ප්‍රසන්න වීරවර්ධන, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන මහත්වරුද මධ්‍යම පළාත් සෞඛ්‍ය පරිවාස හා ළමා රක්ෂක අමාත්‍ය අධිනීතිඥ සුනිල් කිත්සිරි අමරතුංග යන මහතාද මෙයට එක්ව සිටියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all