Photobucket

Wednesday, February 27, 2013

කොල්ලකමින් මිනී මැරූ හිටපු කොටි මරුට බිලි

කොල්ලකෑම් මිනීමැරුම් සිදුකර ආරක්‍ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරමින් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කරගෙන සිටි හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක්‌ වෙත යුද හමුදාව ඊයේ (26 වැනිදා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයකින් කොල්ලකරුවෝ දෙදෙනෙක්‌ මරුමුවට පත්වූහ.

දින හතක්‌ තිස්‌සේ මෙම කොල්ල කණ්‌ඩායම වැලිකන්ද පොළොන්නරුව පූනානි ප්‍රදේශවල සැරිසරමින් කොල්ලකෑම් සිදුකර තිබේ. ඉකුත් 20 වැනිදා ද මොවුන් වැලිකන්ද ඕමඩියාමඩුව ප්‍රදේශයේදී පොලිසිය වෙත ප්‍රහාරයක්‌ එල්ල කළ අතර එහිදී එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ තුවාල ලැබීය.

මෙම කොල්ල කණ්‌ඩායම මඩකළපුව පූනානි ප්‍රදේශයේදී ඊයේ (26 වැනිදා) අලුයම නවීන පන්නයේ මෝටර් රථයක්‌ පැහැරගෙන පොළොන්නරුව ප්‍රදේශයට පලා ගියහ.

මනම්පිටිය මඩකලපුව හන්දිය ප්‍රදේශයේදී මෙම කල්ලිය වෙත යුද හමුදාව ප්‍රහාරයක්‌ එල්ල කළ අතර ඔව්හු මෝටර් රථයද අතහැර දිඹුලාගල කැලෑවට පැන ගියහ.

පසුව යුද හමුදාව සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ දිඹුලාගල කැලෑවට ඇතුළුවී පලාගිය සන්නද්ධ කල්ලිය පසුපස ලුහුබැඳ ගොස්‌ තිබේ.

එහිදී සැඟවී සිටි කොල්ලකරුවන් ආරක්‍ෂක අංශ වෙත බෝම්බ ප්‍රහාරයක්‌ එල්ලකර දිගින් දිගටම වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත.

ඒ අවස්‌ථාවේදී යුද හමුදාව සහ පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනා මරුමුවට පත්වූහ.

ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවියක්‌ සහ තවත් ආයුධ කීපයක්‌ ද පොලිසිය සොයාගෙන තිබේ.

මේ අතර පලා යමින් සිටි කොල්ලකරුවකු සහ ඔවුන් පැහැරගත් මෝටර් රථයද යුද හමුදාව මගින් මඩකලපුව හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇත.

පලාගිය මේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක්‌ ආරම්භ කළ අතර පොළොන්නරුව මහියංගනය මාර්ගයද තාවකාලිකව වසා දැමීමට ආරක්‍ෂක අංශ පියවර ගන්නා ලදී.

දැනට අත්අඩංගුවට ගෙන සිsටින කොල්ලකරු වැලිකන්ද ප්‍රදේශයේ කඳවුරකදී පුනරුත්ථාපනය ලැබූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සැළවූ වහාම පොළොන්නරුව පොලිස්‌ අධිකාරි කේ. ජෝෂප් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ දිඹුලාගල ප්‍රදේශයට ගොස්‌ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

අරලගංවිල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all