Photobucket

Sunday, February 17, 2013

ශීබා

ශීබා දඩෝරියෙක් නොවෙයි. බල්ලාට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ. මේ කතාව ශීබාට අදාළ නැත. ඒ ශීබා ජීවත්ව සිටි කාලයේ වැඩකට නැති ගමන් නොව වැඩකට ඇති ගමන් ගිය නිසාය. ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, අපරාධ  සිය ගණනකටත් වඩා සෙවීමට, හෙළිකර දිමට සමත් වූ වීර ශීබා ඉකුත් දා අවසන් ගමන් ගියාය. පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශයේ සේවය කළ ශීබා අවසන් ගමන් ගියේ පොලිස් ආචාර සමාචාර මධ්‍යයේ කාගෙත් නෙතඟ කඳුළක් ඉතිරි කරමිනි.

දිනය හරියටම මතක නැත. එහෙත් ඒ ඉකුත් වසරේ ජූලි මාසයේ දිනයකි. ඒ වන විට ඇය පිළිබඳව විවිධ වූ වීරකතා ඇසෙන්නට වූ කාලයකි. අපි ඇය බලන්නට රත්නපුර පොලිස් මූලස්ථානයට ගියෙමු.

ඇගේ බාරකරු වූ කොස්තාපල් සමන්ත වනසූරිය (36923) අප ඈ වෙත කැඳවාගෙන ගියේය. ඇය ඈත තියාම ඔහු හඳුනාගත්තීය. එහෙත් නන්නාඳුනන අපගේ ඉව දැනීමෙන් දෝ ඇය බුරන්නට විය.
ඒ වන විටත් අපි ඇය ඉදිරියට නොගොස් සිටියෙමු. එහෙත් ඇගේ බිහිසුණු ගාම්භීර හඬ ඇසීමත් සමඟ මම ඉදිරියට තැබූ පය පස්සට ගතිමි.

”එහෙම මගෙ අණින් පිට කාගෙවත් ඇඟට පනින්නේ නැහැ. කාටවත් කරදරයක් කරන්නේ නැහැ.”
සමන්ත එසේ කීවද මම ඈතින් සිට ඇය දෙස බැලූවෙමි. එහෙත් ඡායාරූප ශිල්පි සුදම්, සමන්ත සහ ඇයගේ ඡායාරූප ගත්තේය. අපේ කතාවේ කතා නායිකාව ඇයයි.

ඇය ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් බැල්ලකි. ලොකු කුඩා කා අතරත් ප්‍රසාදයට පත්ව සිටි මේ බැල්ල ශීබාය. ශීබා පිළිබඳ මතකය අවදිවන්නේ ඈ පිළිබඳ සිත උපන් සංවේගය ද සමඟිනි. ඉකුත් එකාළොස් වැනිදා පාන්දර ශීබා සියලු වීරකම් අතහැර ජීවිතයෙන් සමුගත්තීය.

”ශීබා කියන්නේ හරිම කීකරු සතෙක්. එයා එයාගේ රාජකාරිය හැමදාම හොඳට ඉටුකෙරුවා. සතියක් විතර තිස්සේ ශීබා අසනීප වෙලා හිටියේ. රත්නපුර පශු වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරු ශීබාට ප්‍රතිකාර කළේ. එකොළොස් වැනිදා පාන්දර ශීබාට අමාරු වුණා. ඒත් එයාව බේරගන්න බැරිවුණා. මරණ පරීක්ෂණයේ දී දැනගන්නට ලැබුණේ පෙනහළුවල වතුර නිසා ස්වසන මාර්ගයේ ඇතිවූ දුර්වලතා නිසා ඇය මියගියා කියලයි.

එයා මුල් කාලේ ඉඳලම දුර්වලයි. ඒ වුණාට ඒ දුර්වලකම ශීබාගේ රාජකාරියට බාධාවක් වුණේ නැහැ.”

මියයන විට ශීබාගේ වයස අවුරුදු නවයක් පමණ විය. ඇය සමන්තගේ බාරයට පත්වුණේ දෙදහස් අට වසරේදී ය. එතැන් සිට ඇය මිය යන තුරුම රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව බොහෝ පළාත්වල පුද්ගල ඝාතන මෙන්ම වෙනත් අපරාධ සොයා දෙන්නට කැපවීමෙන් කටයුතු කළාය.

ශීබා පිළිබඳව කා තුළත් කතා බහට ලක්වන්නට වූයේ කහවත්තේ ඝාතන රැල්ලත් සමඟය. ඇය ගාම්භීර ලෙස අපරාධ සෙවීමට අපරාධ කණ්ඩායම් සමඟ ඉදිරියෙන් යන ආකාරය බලන්නට කවුරුත් පෙළගැසී බලා සිටියේය.

”අන්න ශීබා යනවා”

කුඩා දරුවෝ ද ශීබාට ආදරය කරන්නට වූහ. පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් නිල සුනඛයකු වූ ශීබා කිසිවිටෙකත් බාහිර සමාජය ගැන නොතැකුවාය. ශීබා කාගේත් ආදරය ලැබූව ද ඇය ආදරය කළේ සමන්තට පමණි. ඇගේ අභිමතය වූයේ සැමවිටම සමන්තව සතුටු කිරීමය. ඇය සමන්ත සතුටු වන බව දැන සිටියේ තමන්ට සමන්ත පවරන රාජකාරිය හොඳින් ඉටුකර දීමෙනි.

”ශීබා හරිම කීකරුයි. මම එයත් එක්ක රාජකාරියකට ගියහම මට මගේ රාජකාරිය කරන්න හරිම පහසුයි. ඒ පහසුව ලැබුණේ ශීබා නිසා. සමහර සුනඛයින්ට එකම දෙය දෙතුන් වතාවක් කියන්න ඕන. නමුත් ශීබාට එහෙම නැහැ. එයාට එක වරක් කිව්වම ඇති. එයා එයාගේ රාජකාරිය අකුරටම ඉටු කරනවා. සමහර වෙලාවට පරීක්ෂණ කණ්ඩායම් වලට වත් අපරාධ සිදුවූ ආකාරය සොයා ගන්න අමාරුයි. එවැනි අපරාධවල සුලමුල හොයාගැනීමට ඇය හුඟක් තොරතුරු සොයා දීලා තිබෙනවා. මට මතකයි ශීබා කළ එක වීරකමක්.
ඒක වුණේ ඇඹිලිපිටිය පැත්තේ. අත්තම්මා සමඟ නිදියගෙන හිටපු දරුවව රාත්‍රියේ කවුරුන් හෝ උස්සගෙන ගිහිල්ලා තිබුණා. නමුත් දරුවට ඇහැරිලා කෑගහපු නිසා දරුවා දාලා ගිහින් තිබුණා. මේ සිද්ධිය හොයන්න ගියහම අපට හෝඩුවාවක් හැටියට ලැබුණේ විදුලි පන්දමක්. කොහොම හරි ශීබා මේ විදුලි පන්දම දිගේ බොහෝ දුර ගියා. අවසානයේ එක් නිවසකට ඇතුළු වුණා. ශීබා එන බව දැනුණු ඒ ගෙදර හිටිය සැකකරු ජනේලෙන් පැනලා යන්න හැදුවා. 

නමුත් මේ සිදුවීම බලන්න ඇවිත් හිටපු මිනිසුන් අතරින් කෙනෙක් අර සැකකරුට පොල්ලකින් පහර දුන්නා. සමහර වෙලාවට මම ‘ශීබා’ට කියනවා සැකකරු පෙන්නන්න කියලා. එහෙම වෙලාවට එයා ඊට අදාළ අයව මට පෙන්නලා දෙනවා. ඒ වගේ වෙලාවට කවුරුවත් දන්නේ නැහැ මොකද වුණේ කියලා. අපි එහෙම කරන්නේ මිනිස්සු ප්‍රකෝපකාරී වෙන එක නතර කරන්න. මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් ආදී අපරාධ බොහෝ ගණනක් අතරින් අපරාධ සියයකටත් වඩා ඒවායේ සැකකරුවන් අල්ලා දීමට, එහි තොරතුරු අනාවරණය කරදීමට ශීබාට පුළුවන් වුණා.”

සමන්ත ශීබා ගැන බොහෝ තොරතුරු මතකයන් අවදි කරන්නේය. ඒ මතකයන් කියන විට සමන්තගේ හඬ දුක්බරය.

අපරාධ සම්බන්ධව තොරතුරු සොයන්න යන නිලධාරීන්ට ආරක්ෂා තිබුණත් මට කවදාවත් ශීබා ඉන්න නිසා ආරක්ෂාවක් ඕන වුණේ නැහැ. කවුරුහරි මට විහිළුවට හරි මොනවා හරි කළොත් ශීබා ඒ අයට ‘ඇටෑක්’ කරන්න ඉදිරිපත් වෙනවා. ශීබා කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගෙයි.”

එක්දහස් නවසිය අනූඅට වසරේ පොලිස් සේවයට බැඳුන සමන්ත දෙදාහ වසරේ දී නිල සුනඛ කොට්ඨාසයේ පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔහුට මුලින්ම හමුවන්නේ සෑම්ය. 

සෑම් පුපුරන ද්‍රව්‍ය පිළිබඳව විශේෂ පුහුණුව ලද සුනඛයෙකි. පිළිකාවක් සැදී සෑම් මියගිය අතර ඉන්පසුව සමන්තගේ භාරයට පත්වන්නේ ජෙනීය. ජෙනීගෙන් පසුව සමන්තට පුහුණු කිරීම සඳහා ලැබුණේ ශීබාය.
”ශීබා පොලිසියට තෑගි වශයෙන් ලැබුණ බැල්ලක්. ශීබා ජීවත්ව හිටපු කාලේ එයා හැසුරුණ විදිහක් තිබුණා. ඒ හැසිරීම් රටා දන්නේ මම විතරයි. ඒ නිසා අපි අතර හොඳ විශ්වාසයක් තිබුණා. ශීබා හරි කැමතියි මම එයාගේ බෙල්ල යට අතගානවට. ශීබාට ඕන වෙලා තිබුණේ මගේ ආදරේ දිනාගන්න. ඒ නිසා එයා මම කියන දේ ඉටුකරනවා. මම දවස් දෙකතුනක් ගෙදර ගිහිල්ලා ආවත් පහළ බස් නැවතුම් පළේ එන විට ශීබා මං එන බව දන්නවා. මමත් ආව ගමන්ම යන්නේ ශීබාව බලන්න. 

දවසකට දෙකකට පස්සේ මාව දැක්කම ශීබා ඇඟට පැනලා එයාගේ ආදරේ පෙන්වනවා. ඒ වෙලාවට මම එයත් එක්ක කතා කරලා ඕන අනිත් වැඩකරන්න පටන්ගන්න. පොලිස් නිල සුනඛයෝ දන්නේ අපි කරන කියන දේ විතරයි. උන් දන්නේ නැහැ දවසට කෑම වේල් තුනක් කන බව. එහෙම වුණේ මේ අයට අපි කන්න දෙන්නේ වේල් දෙකයි. රාජකාරි ගමනක් යන්න සූදානම් වුණාම ශීබාට ඒ ගමන යනතුරු ඉවසිල්ලක් නැහැ.

පොලිස් නිල සුනඛයන්ට වෙනත් සුඛයින්ට වගේ හැඟීම් දැනීම් නැහැ. අපේ ගම්වල ඉන්න සුනඛයෝ නම් තවත් එකෙක් දැක්කම විවිධ විදියට නේ හැසිරෙන්නේ. ඒත් ශීබා එහෙම නැහැ. එයාගේ ඉස්සරහට බල්ලෙක් බුරාගෙන ආවොත් එයා මගෙ ළඟට එනවා. මම කිව්වොත් ඇටෑක් කරන්න කියලා ශීබා බුරනවා. ඒ වෙලාවට අර සුනඛයෝ පැනලා යනවා. කොහොම හරි සාමාන්‍ය බල්ලන්ට තියෙන හැසිරීම ශීබාට නැහැ. මං හිතන්නේ නැහැ මට ආයෙත් ශීබා වගේ කෙනෙක් ලැබේවි කියලා”

වසර හතරක් පමණ ශීබාගේ හිමිකරු ලෙස සිටි සමන්ත තවමත් පසුවන්නේ ශෝකයෙනි. ඔහුට තවමත් ඇගේ මතකය අමතක කිරීමට බැරි තරම්ය.

තවමත් හිතේ දුක තියෙනවා. ශීබා නැතිවෙච්ච එක පොලිස් දෙපාර්තමේන්තුවට වගේම ජනතාවටත් පාඩුවක්. මටත් ඌ නැති එක පාඩුයි. ඒ වගේම මට පාළුයි. ආයෙත් ටික දවසකින් තවත් සුනඛයෙක් මට ලැබේවි. ඒත් එයා ශීබා වගේ වේවිද කියන්න මම දන්නේ නැහැ. ශීබාගේ අන්තිම මොහොතේ මම එයාගේ ළඟ හිටියා. ශීබා වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පිරිසක් ඉන්නවා. 

ඒ තමයි නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ මහින්ද ඒකනායක, පොලිස් අධිකාරි සිසිර වීරකෝන්, මූලස්ථාන පොලිස් පරීක්ෂක විජේසිංහ, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන, රත්නපුර පොලිස් අධිකාරිතුමා ඇතුළු සියලු මහත්වරුන්ටත්, ශීබා වෙනුවෙන් ප්‍රතිකාර කළ රත්නපුර පශු වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරි කුමාරිලතා මහත්මිය හා පශු වෛද්‍ය සංජය හා පශු වෛද්‍ය කරුණාරත්න යන මහත්වරුන්ට බොහොම පින්.

ශීබාගේ මතකය තවත් බොහෝ කාලයක් යනතුරු සමන්තගේ මතකයෙන් බැහැරව නොයනු ඇත. ඔහුගේ මතකයෙන් පමණක් නොව අපරාධවලට එරෙහිව කතාකරන ඒ වෙනුවෙන් හඬක් නඟන කාටත් ශීබා නොමැකෙන නාමයක් වේවි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all