Photobucket

Thursday, February 21, 2013

රුදුරු කොටි බල මුළු ගැන්වූ එදා යුද බිම අද ගොවි බිමක්‌

යුද සමයේ සිය ගම් බිම් රැකගෙන සිටි ග්‍රාමාරක්‍ෂක භටයන්ට එදා සමාජයේ තිබුණේ අවම පිළිගැනීමකි.

පසු කලෙක එම තත්ත්වය වෙනස්‌ වී ඔවුනට ද සෙසු ආරක්‍ෂක හමුදාවනට මෙන් ගෞරවාන්විත හා තේජාන්විත බවක්‌ ලබාදීමට රජය පියවර ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නම් වූ විධිමත්, පිළිගත් සහ සංවිධානාත්මක ආයතනය බිහි වී සියලුම ග්‍රාමාරක්‍ෂක සාමාජික සාමාජිකාවෝ සිවිල් ආරක්‍ෂක සෙබළ සෙබළියෝ බවට පත්වූහ.

යුද සමයේ එල්. ටී. ටී. ඊ. තර්ජනයට ලක්‌ව තිබූ සිය ගම්බිම් රැක ගැනීමෙන් ඔබ්බට ගොස්‌ යුද මෙහෙයුම්වලට ද සිය සක්‍රීය දායකත්වය ලබාදුන් මෙම සිsවිල් ආරක්‍ෂක සෙබළ සෙබළියෝ අද රටේ සංවර්ධන යුද්ධයට සෘජුවම දායක වී සිටිති.

40,000 කට අධික මෙම සිවිල් ආරක්‍ෂක බළකාය අද වගා සංග්‍රාමයට ප්‍රමුඛත්වයක්‌ දී මහත් උනන්දුවකින් සහ කැපවීමකින් කටයුතු කරන ඔවුහු තවත් විවිධ ව්‍යාපෘති රැසක නිරත වෙමින් සංවර්ධන හා ආර්ථික සංග්‍රාමය ජයගැනීමට දායක වී සිටිති.

රටේ රාජ්‍ය නායක හා සේනාධිනායක වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ අවධානය සිවිල් ආරක්‍ෂක බළකාය වෙත යොමු වී තිබීමත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ හා අනුග්‍රහය නිරතුරු ලැබීමත් නිසා එහි අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ මහතාට තම බළකාය නිවැරැදි හා සාර්ථක ඉලක්‌කයක්‌ කරා රැගෙන යැමට නිසි නායකත්වයක්‌ දීමට හැකි වී ඇත.

එසේ සාර්ථක ගමනක නිරතව සිටින සිවිල් ආරක්‍ෂක බළකායට තවත් වැදගත් සහ සුවිශේෂී වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමේ අවස්‌ථාව මීට මාස කීපයකට පෙර උදාවිය. ඒ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව උතුරේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළ සෙබළියන් ලෙස බඳවාගැනීමේ අභියෝගයයි.

ඒ අනුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ගේ මෙහෙයවීම යටතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්‌ත්‍රික්‌කවල හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් සිවිල් ආරක්‍ෂක සෙබළ සෙබළියන් ලෙස බඳවාගැනීම සාර්ථකව සිදුවිය.

එම බඳවාගැනීමේ සමාරම්භක උත්සවය පසුගිය වසරේ විශ්වමඩුහිදී පැවැති අතර ඊට සහභාගි වීමේ අවස්‌ථාව මා හට ද හිමිවිය. දෙදහසක්‌ බඳවා ගැනීමට නියමිතව තිබුණද පැමිණ සිටි පිරිස ඊට වඩා වැඩි විය. කෙසේ හෝ අවසානයේදී 3500 ක පමණ පිරිසක්‌ සිවිල් ආරක්‍ෂක සෙබළ සෙබළියෝ ලෙස බඳවා ගත්හ.

දැන් ඔවුහු කිලිනොච්චිය සහ මුලතිව් දිස්‌ත්‍රික්‌කවල සිය රාජකාරි කටයුතුවල නිරතව සිටිති. එල්. ටී. ටී. ඊ. සෙබළ සෙබළියන් ලෙස කැලෑ සටන් ඇඳුම් ඇඟලාගෙන අවි අත දරා සටන් වැද සිටි ඔවුහු පසුව හමුදාවට භාර වී හෝ අත්අඩංගුවට පත්වී පුනරුත්ථාපනය ලබා නැවත සමාජගත වීමෙන් අනතුරුව දැන් සිවිල් ආරක්‍ෂක බළකාය යටතේ රාජකාරි කරමින් සිය දෙමවුපිය සහෝදර සහෝදරියන් මෙන්ම දරු පවුල් සමඟ යහපත් පුරවැසියන් ලෙස සතුටින් නිදහසින් දිවි ගත කරති.

දකුණේ සෙසු සිවිල් ආරක්‍ෂකයන් මෙන් කෘෂිකාර්මික වගා කටයුතුවල නිරතව සිටින මෙම හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් හමුවීමට පසුගිය දිනවල අපි මුලතිව් සහ කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කවල ප්‍රදේශ කීපයක සංචාරය කළෙමු.

එහිදී අපි ප්‍රථමයෙන්ම කිලිනොච්චිය අම්බාල් නගර් සිවිල් ආරක්‍ෂක බළකා ගොවිපළට ගියෙමු. අක්‌කර 248 ක්‌ පුරා බඩඉරිඟු සහ විවිධ එළවළු, පලතුරු ඇතුළු භව භෝග වර්ග රැසක්‌ එහි සාර්ථකව වගා කර ඇති අයුරු දුටුවෙමු.

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු වූ එස්‌. සදිස්‌ කුමාර් ඉතා චතුර ලෙස ඉංග්‍රීසි බස මෙන්ම සිංහල බස ද හසුරුවනු දුටු අපි ඔහු සමඟ කතා කළ විට දැනගත හැකි වූයේ ඔහු වසර 10 ක්‌ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සිටි බවය.

ආයුර්වේද වෛද්‍ය සිසුවකු ලෙස කිලිනොච්චිය රෝහලේ පුහුණුව ලබමින් සිටියදී එල්. ටී. ටී. ඊ. සංවිධානයට බැඳුණු සදිස්‌ කුමාර් අවසන් සටනේදී තුවාල ලැබූ කොටින්ට ප්‍රතිකාර කිරීමේ නිරත වූ බව පවසා සිටියේය. 30 හැවිරිදි ඔහු පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාවක්‌ ද හදාරා ඇති අතර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට බැඳී එහි අම්බාල් නගර් ගොවිපළේ ලිපිකරුවකු ලෙස සේවය කරන අතර වැඩිදුර අධ්‍යාපන කටයුතුවල ද නිරතව සිටී. ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ සමත් සදිස්‌ කුමාර් තමාට දැන් ලැබී තිබෙන නිදහස හා සාමය මෙන්ම රැකියාව නිසා ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වී තිබෙන බව දැඩි සතුටකින් පවසා සිටියා.

2009 වසරේ හමුදාවට භාරවී පුනරුත්ථාපනය ලබා 2011 වසරේ නැවත සමාජගත වූ තමන්ට ඉදිරි උසස්‌ අධ්‍යාපන කටයුතු ද කරමින් පවුලේ අය සමඟ සතුටින් නිදහසින් ජීවත්වීමට සිවිල් ආරක්‍ෂක බළකායට බැඳීමට හැකිවීම විශාල සහනයක්‌ බව ද ඔහු සඳහන් කළා.

කිලිනොච්චිය ශාන්තිපුරම් පදිංචි ශිවා සශිකලා (28) සිවිල් ආරක්‍ෂක සෙබළියක ලෙස කටයුතු කරන හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකාවකි.

"මගේ මහත්තයත් හිටපු එල්. ටී. ටී. ඊ. කෙනෙක්‌. අපි දෙන්නම දැන් සිවිල් ආරක්‍ෂක බළකායෙ වැඩ කරනවා. අපිට ලැබෙන වැටුපෙන් හොඳට ජීවත් වෙනවා. අපි හිටපු එල්. ටී. ටී. ඊ. අය කියල රජයත් හමුදාවත් අපිට කිසි වෙනසක්‌ නොකර පුනරුත්ථාපනය කරලා නිදහසේ ජීවත්වෙන්න ඉඩ සලසා දුන්නා. ඒත් අපිට රැකියාවක්‌ නැතුව හිටියෙ. සිවිල් ආරක්‍ෂක බළකායට අපි බැඳුණේ ලොකු කැමැත්තකින්.

මෙහෙ දේශපාලන කට්‌ටිය සහ එල්. ටී. ටී. ඊ. යට හිතවත් අය මුලදී විතරක්‌ නෙමෙයි දැනුත් දොස්‌ කියනවා. අයින් වෙන්න කියලත් කියනවා. ඒත් අපි ඒ කිසිම බලපෑමකට බය නොවී දිගටම මෙහි ඉන්නවා. ඔවුන් හදන්නෙ නැවත අපේ ජීවිත විනාශ කරන්න. අපි කවුරුවත් ඒකට ඉඩ තියන්නෙ නෑ.

අපි ඔවුන්ගෙන් සමුගෙන කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්‍ෂක බළකා ඒකාබද්ධ අණදෙන මූලස්‌ථානය පිහිටි විශ්වමඩු වෙත ගොස්‌ එහි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේම පිහිටි කොලොන්දුකුලම් ගොවිපළ වෙත ගියෙමු.

කොටි නායක ප්‍රභාකරන් රැඳී සිටි ආරක්‍ෂිත ප්‍රදේශයක පිහිටි එම ගොවිපළ එදින මහා උත්සව සිරියක්‌ ගෙන තිබිණි. ඊට විශේෂ හේතුවක්‌ විය. කොළඹ සිට ගිය අප මාධ්‍ය කණ්‌ඩායම මෙන්ම තවත් සැබෑ අමුත්තකු එහි පැමිණීම එයයි.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන, ලේක්‌හවුස්‌ කර්තෘ මණ්‌ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් යන මහත්වරු ද ඒ සමඟ වූහ.

නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම හිටපු කොටි තරුණ තරුණියන් සිවිල් ආරක්‍ෂක බළකායට බඳවාගත් නිසා එහි ප්‍රගතිය පිළිබඳව දැක බලාගැනීම ඒ මහතාගේ මෙම සංචාරයේ අරමුණ විය.

සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌, කිලිනොච්චිය මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සහ මුලතිව් අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් විරාඡ් ප්‍රනාන්දු යන නිලධාරීන් සමඟ ගොවිපළ පුරා සංචාරය කළ නාමල් රාජපක්‍ෂ මහතා හිටපු කොටි තරුණ තරුණියෝ සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

මෙම හිටපු කොටි තරුණ තරුණියන්ගේ කලා කුසලතා විදහාපාමින් අලංකාර සංස්‌කෘතික ප්‍රසංගයක්‌ ද මෙහිදී පැවැති අතර නාට්‍ය, නැටුම්, ගායන, වාදන යන අංගයන්ගෙන් එය සමන්විත විය.

එහිදී කලා කුසලතා දැක්‌වූ බොහෝ දෙනා එල්. ටී. ටී. ඊ. සංස්‌කෘතික කණ්‌ඩායම නියෝaජනය කළ කොටි සාමාජික සාමාජිකාවෝ වීම විශේෂත්වයකි. මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවූ සිවරාම් මාස්‌ටර් නමැත්තා එල්. ටී. ටී. ඊ. සංස්‌කෘතික කණ්‌ඩායමේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූ අතර නාට්‍ය අධ්‍යක්‍ෂණය කරමින් එහි රඟපෑ උමාකාන්තන් එල්. ටී. ටී. ඊ. සංස්‌කෘතික කණ්‌ඩායමේ නාට්‍ය හා නැටුම් අධ්‍යක්‍ෂවරයා විය.

මීට වසර කීපයකට පෙර බිහිසුණු සටන් බිමක්‌ව පැවැති මුලතිව් සහ කිලිනොච්චිය ප්‍රදේශ අද මෙතරම් නිදහස්‌, සාමකාමී සහ විනෝදකාමී ප්‍රදේශ බවට පත්වී තිබෙනු දුටු විට මෙම ප්‍රදේශ පමණක්‌ නොව සමස්‌ත මවුබිමටම සාමය නිදහස උදාකරදීම උදෙසා දිවි පුදා සටන් කළ සහ අත්පා අහිමිකරගත් රණවිරුවන් ඇතුළු සියලුම රණවිරුවන් වෙත අපේ උත්තම ආචාරය සහ උපහාරය සදාකල්ම හිමිවනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all