Photobucket

Friday, February 22, 2013

පොත් පළවන්නේ 250 යි

ආරියරත්න විතාන කෙටිකතාකරුවකු, වේදිකා නාට්‍යකරුවකු, පරිවර්තකයකු, චිත්‍රපට, ටෙලි නාට්‍ය තිරකතා රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකටය. ඔහු ලියු ‘ගිනි කුසුම’ චිත්‍රපටයේ මුද්‍රිත තිර නාටකයත් ‘සිත්තර පැංචා’ ළමා ටෙලි නාට්‍යයේ මුද්‍රිත තිර නාටකයත් පසුගිය දා එළිදුටුවේය.
 
ඔබේ තිරකතා මුද්‍රණ කෘති ලෙස පළ කිරීමේ අරමුණ මොකද්ද?
අරමුණු දෙකක් තිබෙනවා. එකක් තිර නාටක සාහිත්‍යයක් ගොඩනැංවීම. මගේ පිළිගැනීමක් තිබෙනවා, අපේ රටේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය දුර්වල වන්ට එක හේතුවක් තමයි සාර්ථක තිර නාටක නොතිබීම කියලා. අද තිර නාටක කියලා ලියන්නේ හුදු දෙබස් පමණයි. අලුත් පරපුරට කියවන්ට හොඳ තිර නාටක සාහිත්‍යයක් නැහැ. විධිමත් හැදැරීමකින් තොරව සාර්ථක තිරකතා ලියන්න බැහැ. හැත්තෑව දශකයේ දී අපි තිර නාටක රචනයට පිවිසෙන අවදියේ තිර නාටක පාඨමාලා තිබුණා. අපි ලියන තිරකතා මිලට ගන්ට චිත්‍රපට සංස්ථාවේ තිරනාටක බැංකුවක් තිබුණා. එසේම තිර නාටක අනුමත කිරීමේ, ඒවා වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. අද ඒ මුකුත් නැහැ. ඉතිං මෙබඳු පසුබිමක චිත්‍රපට, ටෙලි නාට්‍ය තිරකතා අසාර්ථක වීම පුදුමයක් නෙමෙයි. අපි පුළුවන් තරම් තිර නාටක කෘති, පොත් වශයෙන් පළ කරන්න ඕනැ. වෙන රටවල උසස් තිර නාටක සාහිත්‍යයක් තිබෙනවා. අපේ රටේ විතරයි නැත්තේ.

තිර නාටක රචනයට ඔබ යොමු වීමේ පසුබිම කුමක් ද?
‘සෙලිනාගේ වලව්ව‘ තමයි මගේ මුල්ම චිත්‍රපට තිර නාටකය. එය ‘රන් කූඩුව‘ යන නමින් මා ලියු වේදිකා නාට්‍යයක් ඇසුරින් කළ නිර්මාණයක්. චිත්‍රපට සංස්ථාවේ තිර නාටක බැංකුව මිලට ගත් පළමු තිර කතාව වුණේ ‘සෙලිනාගෙ වලව්ව‘. මට අවස්ථාවක් ලැබුණා, ජර්මනියට ගිහිං අවුරුදු තුනක සිනමා පාඨමාලාවක් කරන්න. එහිදී ජර්මන් චිත්‍රපට තිර රචකයන් එක්ක වැඩ කිරීමේ භාග්‍යය මට ලැබුණා. තිර රචනය පිළිබඳ ශිල්ප ධර්මතා මම ඉගෙන ගත්තේ ඔවුන් ඇසුරේ. ‘බිරිඳ’, ‘ඉරැස්මා’ මා ලියු සෙසු තිර නාටක.

ඔබ ‘අතුරු මිතුරු’ නමින් ළමා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එසේම ‘ඉරැස්මා’ චිත්‍රපටයේ තිර නාටකයත් අධ්‍යක්ෂණයත් ඔබගේ. ශ්‍රී ලංකා ළමා චිත්‍රපට සංගමය ඔබේ මූලිකත්වයෙන් ගොඩනැංවූවක්. මෙබඳු පසුබිමක අපේ ළමා සිනමාව පිළිබඳ ඔබේ අදහස් මොනවා ද?
ළමා චිත්‍රපට දෙකොටසක් තිබෙනවා. එකක් ළමයින් වෙනුවෙන් හදන චිත්‍රපට. අනික ළමයින් යොදාගෙන හදන චිත්‍රපට. ‘රේඛාව‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ළමයින් යොදා ගත්තත් එය ළමා චිත්‍රපටයක් නෙමෙයි. අපිට අවශ්‍ය ළමයින් වෙනුවෙන් හදන චිත්‍රපට. ළමා චිත්‍රපට නිර්මාණයේ දී අධ්‍යක්ෂවරයා ළමා මනස දැන ඉන්න ඕනැ. ළමා මනෝ විද්‍යාව කියලා විෂයයක් තිබෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් අධ්‍යක්ෂවරයාට තිබීම වැදගත්.

ළමා සාහිත්‍යයටත් ඔබේ නිර්මාණාත්මක දායකත්වයක් තිබෙනවා නේද?
ඔව්. මං ළමා සාහිත්‍ය පරිවර්තකයෙක්. කාලයක් මං ‘සෝවියට් දේශය’ සඟරාවේ වැඩ කළා. ඒ කාලේ මම රුසියානු හා සෝවියට් ළමා පොත් පරිවර්තනය කළා. රුසියාවේ ඉතාම දියුණු ළමා සාහිත්‍යයක් තිබෙනවා. ඒවයේ කතා සර්වකාලීනයි. ඒ පරිවර්තන අත්දැකීම් ඔස්සේයි මා ළමා සිනමාකරණයට ප්‍රවිෂ්ට වුණේ.

‘ගිනි කුසුම’ ඔබේ අලුත්ම තිර නාටකය.
මේක ළමා චිත්‍රපටයක් නෙමෙයි. එය නගරයේ පහළම සමාජ ස්ථරයක ජීවත්වන ගැහැනියක පිළිබඳ කතාවක්. ඇය ජීවත්වීම සඳහා හොර අරක්කු පෙරනවා. ඇය එහිදී නොයෙක් ගැටුම්වලට මුහුණ දෙනවා. එය පවුලේ, පිටස්තර බලවේග අතරේ, පොලිසියත් එක්ක, දේශපාලනය හා සම්බන්ධ වන ගැටුම්. මේක එක අතකට චරිතාපදාන ප්‍රවේශයකින් යුතු කතා පුවතක් විදියටත් හඳුන්වන්ට පුළුවන්.

එතකොට ‘සිත්තර පැංචා’ තිර නාටකය?
මෙය ළමයින් වෙනුවෙන් ලියු ටෙලි නාට්‍යයක තිර පිටපතක්. 1999 දී මෙය ජාතික රූපවාහිනියෙන් විකාශය වුණා. මවුපියන්ගේ සැලකිල්ලට ලක් නොවූ දරුවකුගේ සැඟවුණු කුසලතාව රටටම කීර්තියක් ගෙන දෙන්න සමත් වන ආකාරය මේ ටෙලි නාට්‍යයෙන් කියැවුණා.

‘ගිනි කුසුම’ චිත්‍රපටයක් විදියට නිෂ්පාදනය වෙනවා ද?
ඔව් මගේ මීළඟ චිත්‍රපටය එයයි. එකම ප්‍රශ්නය තියෙන්නේ අද චිත්‍රපට බෙදා හැරීම හා ප්‍රදර්ශනයේ කිසියම් අර්බුදයක් තියෙනවා. අද එය සිදුවන්නේ පෞද්ගලික අංශයෙන්. එතැන දැවැන්ත ඒකාධිකාරයක් දක්නට ලැබෙනවා. ඒ නිසා මගේ අදහස චිත්‍රපට බෙදා හැරීම යළි රජය යටතට ගත යුතු බවයි. එවිට එය කිසියම් විධිමත් බවකින් යුතුව සිදුවේ ය කියා මා සිතනවා.

මුද්‍රිත තිරකතා පොත්වල අලෙවිය ප්‍රමාණවත් ය කියා ඔබ හිතනව ද?
ඇත්තටම ප්‍රමාණවත් නැහැ. දෙකෝටියක ජනගහනයක් ඉන්න අපේ රටේ කවි පොත්, තිර නාටක පොත්, ශාස්ත්‍රීය පොත් පළවන්නේ පිටපත් 250 යි. මේක ඛේදවාචකයක්. දැන් අවුරුදු ගණනාවක ඉඳන් අපේ රටේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පවත්වනවා. එතැන පොත් අලෙවි වෙනවලු. ඒ විදියට පොත් අලෙවි වෙනවනම්, මිනිස්සු මේ තරම් පොත් කියවනවනම් පසුගිය අවුරුදු හත අට තුළ අපේ රට උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් පිරුණු සමාජයක් බවට පත් වෙන්න ඕනෑ. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. පොත් කියවන සමාජයක් මම නම් දකින්නේ නැහැ. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගිවීම හුදු විලාසිතාවක් පමණයි. ඉන් එහාට දෙයක් නැහැ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all