Photobucket

Monday, January 14, 2013

හින්දි-මරාති සිනමාවන්ට ආලෝකයක්‌ වූ

මෙම රංගන ශිල්පිනිය 50 හා 60 දශකයන්හි හින්දි හා මරාති සිනමාවන්ට නැතිවම බැරි වූ දක්‍ෂ ජනප්‍රිය ශිල්පිනියක වූවාය. කතක්‌ නැටුම් ශෛලිය මනා සේ ප්‍රගුණ කළ මෙම ශිල්පිනිය දශක 4 ක්‌ වූ තම සිනමා දිවිය තුළ දී චිත්‍රපට 300 කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබිණි. ඇය නමින් ඌෂා කිරන්ය.

ඌෂා 1929 වසරේ අප්‍රේල් 22 වැනිදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බ්‍රාහ්මණ පවුලක උපත ලැබුවාය. ළමා වියේ සිටම ඉගෙනුමට දක්‍ෂයකු වූ ඇය රංගන ශිල්පිනියක වීමට අපේක්‍ෂාවෙන් සිටි අයකු නොවීය. කෙසේ වුවද වයස අවුරුදු 10 වන විට ඇය නර්තන පාසලකට ඇතුළත් වී කතක්‌ නැටුම් ශෛලිය ප්‍රගුණ කළාය. 1941 වසරේදී ඇයගේ නර්තනයන් දුටු එම්. ජී. රන්ග්නෙකාර් ශිල්පියා විසින් ඌෂාව මරාති ජාතික නාට්‍යයක්‌ වූ "ආශිර්වාද්" නාට්‍යයෙහි රඟපෑමට තෝරා ගත්තේය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 12 ක්‌ විය.

මෙම වකවානුවේ සිනමා අධ්‍යක්‍ෂ උදේශංකර් විසින් තමන් අධ්‍යක්‍ෂණය කරන "කල්පනා" චිත්‍රපටයේ රඟපෑම සඳහා දක්‍ෂ රංගන ශිල්පිනියක සොයමින් සිටියේය. ඌෂා හා ඇයගේ සහෝදරිය විසින් නර්තන පාසලෙහි ඉදිරිපත් කළ නර්තනයන් දැක ඔවුන් දෙදෙනාවද එම චිත්‍රපටයෙහි රඟපෑම සඳහා වන සම්මුඛ පරීක්‍ෂණයට තෝරා ගැනීමට අධ්‍යක්‍ෂවරයා පියවර ගත්තේය. එහෙත් ඌෂා හා ඇයගේ සහෝදරිය සිනමා රංගනයට පිවිසීමට කැමැත්තක්‌ නොදැක්‌වූ අතර අවසානයේ තම පියාගේ උනන්දු කරවීම මත ඌෂා එම චිත්‍රපටයෙහි රඟපෑමට එකඟ විය.

කෙසේ වුවද ඇය ඉදිරිපත් කළ ප්‍රථම රංගනය වූයේ 1949 වසරේ තිරගත වූ "කුබර්" මරාති ජාතික චිත්‍රපටයෙහි ඇය ඉදිරිපත් කළ රංගනයයි. පසුව අමයා වක්‍රබෝනි විසින් "වාස්‌ති" චිත්‍රපටයෙහි රඟපෑමට තෝරා ගත්තේය.

තම ප්‍රථම රංගනයෙන්ම දස්‌කම් පෙන්වීමට සමත් වූ ඌෂා අනතුරුව 1953 වසරේ තිරගතවූ "පටීටා" චිත්‍රපටයෙහි ජනප්‍රිය නළු දේව් ආනන්ද් හා රඟපෑ ප්‍රධාන චරිතයෙන් සිනමා තරුවක්‌ බවට පත්වූවාය. එම චිත්‍රපටයෙහි අඩංගු ලතා මංජෙශ්කාර් හා හේමන්ත් කුමාර් විසින් ගායනා කරන "යාද් කියා දිල් හේ කහාන්" ගීතයට අදාළ දර්ශනයෙහි ඌෂා හා දේව් ආනන්ද් ඉදිරිපත් කළ රංගනය එකල සිනමා ප්‍රේක්‍ෂකයන් අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. එම ගීතය පසුව "රානි එන්කෝ නැගී මා පෙම්" යනුවෙන් සිංහල භාෂාවට ද පරිවර්තනය කෙරිණි.

අනතුරුව ඌෂාට රඟපෑම සඳහා එක දිගට ඇරැයුම් ලැබෙන්නට වූ අතර ඇය විසින් දේව් සමග රඟපෑ "මුසෆිර්" "මද්හෝෂ්" අවුලාද්, සමා-, රාඡ් කපූර් සමග රඟපෑ "නස්‌රානා", (1961) දිලිප් කුමාර් සමග රඟපෑ "දාග්" (1952) "බාඩ්බාන්" (1954), "බාද්වා", බාල්රාඡ් සහ්නි සමග රඟපෑ "කබුලිවාලා" (1961) යන චිත්‍රපට අතිශයින් ජනප්‍රිය විය. මුල් කාලයේ හින්දි චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑමට ඌෂාට අවස්‌ථාව හිමි වුවද පසුකාලීනව ඇයට වැඩි වශයෙන් රඟපෑමට අවස්‌ථාව ලැබුණේ උප ප්‍රධාන චරිතයන්ය.

මරාති සිනමාවේද ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ඌෂා, "ශික්‌ලේලි බායිකෝ", "කන්‍යාදාන්", "ගරීබා ගාචි ලේක්‌" හා "කාන්චන්ගංගා" යන මරාති චිත්‍රපටවලද රඟපෑවාය.

ජනප්‍රිය රංගන ශිල්පිනියකව සිටියදීම වෛද්‍ය මනෝහර් කේර් සමගින් 1954 වසරේදී විවාහ වූ ඌෂා විවාහයෙන් පසුද සිනමා රංගනයෙහි නිරත වූවාය. තම කුළුඳුල් දරුවා වූ පුත් අද්වේත් උපත ලැබූ පසු රංගනයේ නිරත වුවද දියණිය වූ ටැන්වි උපත ලැබූ පසු ඇය සිනමාවෙන් ඉවත් වූවාය.

වසර කිහිපයක්‌ රංගනයෙන් ඉවත්ව සිටි ඌෂා නැවත සිනමාවට පිවිසියේ 70 දශකයේදී සිනමා අධ්‍යක්‍ෂ රිෂිකේෂ් මුකර්ජි තැනූ "බාවාචි" (1972) චිත්‍රපටයෙනි. අනතුරුව ඇය "චුප්කේ චුප්කේ" (1975) "මිලී" (1975) යන චිත්‍රපටවලද රඟපෑවාය.

ඌෂා තම රංගන දිවිය තුළදී රාඡ් කපූර්, දේව් ආනන්ද්, අශෝක්‌ කුමාර්, දිලිප් කුමාර්, රාඡේන්ද්‍ර කුමාර්, රාඡේශ් ඛන්නා, ධර්මේන්ද්‍ර හා අමිතාබ් බච්චන් යන සිනමා තරු සමග රඟපා තිබේ. ඇය සිනමා රංගනය වෙනුවෙන් "බාඩ්බාන්" (1954) චිත්‍රපටයේ කළ රඟපෑම උදෙසා 1955 වසරේදී හොඳම සහාය නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබීය. මරාති චිත්‍රපටයක්‌ වූ "කන්‍යාදාන්" චිත්‍රපටයෙහි රඟපෑ චරිතය වෙනුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ඇයට හොඳම නිළියට හිමි සම්මානය ප්‍රදානය කළේය.

දශක හතරක පමණ කාලයක්‌ සිනමා රංගනයෙහි නිරත වූ ඇයට "ශික්‌ලේලි බායිකෝ", "ගරීබා ගාච් ලේක්‌", "කාන්චන්ගංගා" හා "කල්පනා" යන මරාති ජාතික චිත්‍රපටවල රඟපෑම වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. "බාලා ජෝ ජෝ රේ" "පොස්‌ටටිල් මුල්ගි", "උදයාවා සංසාර්", "ගරම්බිවා බාජු", "ස්‌ත්‍රී ජන්ම තුජී කහානි "දාදාවා ඇය රඟපෑ සෙසු මරාති චිත්‍රපටයන්ය.

ඇය පසුව "රින්කි බට්‌ටචාර්ය විසින් නිපදවූ "අනාව්රථ"

ටෙලි සිනමා පටයෙහිද රඟපෑවාය.

ඌෂා විසින් ඉන්දීය සිනමාවට කරන ලද සේවය උදෙසා ඇයට 1996-97 වසරක කාලය තුළ "ෂෙරිෆ් ඔෆ් මුම්බායි"Êයන තනතුර පිරිනැමිණි. පුරා දශක හතරක පමණ කාලයක්‌ සිනමා රංගනයෙහි නිරත වෙමින් රසික හදවත් පිනවූ මෙම අසහාය රංගන ශිල්පිනිය 1999 වසරේදී බඩවැලේ පිළිකාවකින් පෙළෙන බව සොයා ගැනුණු අතර ප්‍රතිකාර සඳහා මුම්බායි හි හින්ද්‍රජා රෝහලට ඇතුළත් කෙරිණි. පසුව 2000 වසරේ ජනවාරි මාසයේදී නාෂික්‌ හි පිහිටි ඇයට අයත් ගොවිපළ නිවසට ඇයව ගෙන එන ලදී. කෙසේ වුවද පැවැති රෝගී තත්ත්වය නිසාම ඌෂා කිරන් 2000 වසරේ මාර්තු 09 දා සදහටම දෙනෙත් පියා ගත්තාය. මිය යන විට ඇය 70 වැනි වියෙහි පසුවූවාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all