Photobucket

Sunday, January 6, 2013

නාමල් යෝෂිත රෝහිත සිරිපා වන්දනාවේ

සිරිපා සමය ඇරැඹී තිබේ. සිව් දිගින් ඇදී එන දෙස් විදෙස් ජනී ජනයා ශ්‍රීපාද පද්මය වැඳ පුදා ගන්නට, දැක බලා ගන්නට බැති සිතින් පෙළ ගැසෙති. ස්වභාව ධර්මයේ අනගි නිමැවුමක් වූ සමනොළ අඩවිය ජෛව විවිධත්වයෙන් පොහොසත් හෙක්ටයාර 23380 ක් පුරා විහිදුණු අපූර්වතම බිම් කඩකි. කඳු මුදුනේ සිට ගලා හැලෙන සිව් මහා ගංගා රට පුරා කෙත්වතු සරුසාර කරමින් ගලා බසිති. දස දහස් ගණනින් වන සිවුපාවුන්, සියොතුන් එහි සැරිසරති. ඒ පාරිසරික වටිනාකම ඉක්මවූ ආගමික වටිනාකම නිසා ශ්‍රීපාදය පූජනීය පින්බිමක් බවට පත්ව තිබේ.
ගිනිගත්හේනට නුදුරුව ඇති පොළොන්නරු යුගයට අයත් අඹගමු ශිලා ලිපියෙහි සඳහන් වන්නේ මේ භද්‍ර කල්පයේ පෙර බුදු වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරුන්ගේ ද සිරිපා සටහන් සමනල කඳු මුදුනෙහි පිහිටා ඇති බවය. මහා වංශයේ සඳහන් වන ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ සමනල ගිරි හිස සිරිපා සටහන් පිහිටුවූයේ සුමන සුරිඳුන්ගේ ආරාධනයෙනි. ඒ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී ය.

බෞද්ධ ජනතාවගේ පමණක් නොව හින්දු, කතෝලික, හා ඉස්ලාම් බැතිමතුන්ගේ ද වන්දනාමානයට පාත්‍ර වන ලොවම ඇති එකම පූජනීය ස්ථානය වන්නේ ද ශ්‍රීපාදස්ථානයයි.

මේ නිසා පෙර රජ දවස පටන් ශ්‍රීපාදයට හිමිවුණේ වැදගත් ස්ථානයකි.

අඹගමුව ශිලා ලිපියට අනුව සිරිපා වඳින්නට එන අයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි ලා විජයබාහු රජු මුල් වී කටයුතු කර ඇත. පහත මලුව, වන්දනාවේ එන භික්ෂුන් වහන්සේ සහ මහලු අය සඳහා දන්සල් විවෘත කිරීම, පරිපාලන කටයුතු විධිමත් කර ගැනීම සඳහා සේවක මණ්ඩලයක් පිහිටුවීම, ඒ අතර ප්‍රධානය.
නිශ්ශංකමල්ල, දෙවැනි පැරකුම්බා, තුන්වැනි විජයබාහු, විමලධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ ආදි රජවරු ද සමනල අඩවියේ විවිධ සංවර්ධන කටයුතුවලට හා සිරිපා වන්දනයට සහභාගි වූ බව සඳහන්ය.

වත්මන් යුගයේ ද සාමය සමගිය අගයන, ආධ්‍යාත්මික හා සාර ධර්මයන්ගෙන් පිරිපුන් ජන සමාජයක් බිහි කිරීම සඳහා රටපුරා ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ප්‍රධාන තැනක් හිමිව තිබේ. ඒ මහින්ද චින්තනයේ සුවිශේෂී අංගයක් ලෙසිනි. රාජ්‍ය නායකත්වයේ උපදෙස් හා මාර්ගෝපදේශකත්වය මත දේශපාලන අංශ නායකයන් විසින් එම කටයුතු මනාව පරිපාලනය කැරේ.

ඒ අනුව මෙවර සිරිපා සමය ආරම්භයත් සමඟින් සමනල අඩවිය නිරීක්ෂණය කිරීම, වන්දනා කරුවන්ගේ පහසුකම් විමසා බැලීම ආදි අරමුණු රැසක් මුල් කර ගනිමින් හා ශ්‍රී පාද පද්මය වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් මන්ත්‍රීවරුන් අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ තවත් දේශපාලනඥයන් ඇතුළු පිරිසක් ශ්‍රීපාදය බලා ගමන් ගත්හ. 

ඒ පසුගිය තිස් වැනිදාය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙතරම් දේශපාලන නියෝජිතයින් රැසක් මෙසේ එකවර ශ්‍රීපාදය වැඳ පුදා ගත්තේ ප්‍රථම වතාවටය. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ යන සොහොයුරන් තිදෙනාම මේ ගමනට එක්වීම වඩාත් සුවිශේෂීය. මනූෂ නානායක්කාර, කනක හේරත්, රොෂාන් රණසිංහ, තාරානාත් බස්නායක, ලොහාන් රත්වත්ත, උදිත ලොකු බණ්ඩාර, එරික් ප්‍රසන්න යන මන්ත්‍රී කණ්ඩායමත්, හම්බන්තොට නගරාධිපති, තරුණ සේවා සභාවේ සභාපති ඇතුළු පිරිස් සෙසු අය වූහ.

සාකච්ඡා කරගත් පරිදි තිස් වැනිදා රාත්‍රී 11.30 ට පමණ ප්‍රථමයෙන් නල්ලතන්නියට පැමිණියේ තාරානාත් බස්නායක හා උදිත ලොකු බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනාය. ඉන් පසුව කනක හේරත්, එරික් ප්‍රසන්න මන්ත්‍රීවරු පැමිණි අතර සෙසු පිරිස් පැමිණියේ ඉන් පසුවය. ගමනාරම්භය ප්‍රමාද වූයේ සියලු දෙනා ගේ පැමිණීම ඉක්මන් නොවූ නිසාය. නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පැමිණ සිටි මන්ත්‍රී පිරිස තම තමන්ට භාර සංවර්ධන කටයුතු හා රටේ ඉදිරි ගමනට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළේ ඒ කාලයෙන් ප්‍රයෝජන ගනිමිනි.

සියලු දෙනා පැමිණීමෙන් පසු සිරිපා තරණය සිදුවූයේ අලුයම 1.30 ට පමණය. ආරම්භයේ දී කණ්ඩායමේ සියලු දෙනා එකම වේගයකින් ගමන් ගත් අතර සීත ගඟුලට යන තෙක්ම එකම කණ්ඩායමක් ලෙස ගමන් කළහ. සමනොළට කෝඩුකාරයන් සීත ගඟුලෙන් දිය නා නැවත ගමන ආරම්භ කළත් ගමනේ ජවය අඩුවී කණ්ඩායම් කුඩා කණ්ඩායම්වලට වෙන් විය. කණ්ඩායමේ ප්‍රථමයෙන් ගිය පිරිස සිරිපා කඳු මුදුනට ළඟා වූයේ අලුයම 3.45 - 4.00 ට පමණය. ඒ පැය දෙක හමාරක පමණ කාලයකිනි. 

පිරිස ගමන අරඹන අවස්ථාවේ යටියන්තොට ප්‍රදේශයේ සිටි රෝහිත රාජපක්ෂ මහතා තම සොහොයුරන් දෙදෙනා කඳු මුදුන ස්පර්ශ කරනවාත් සමඟම එම ස්ථානයට ළඟා වීම කවුරුත් මවිතයට පත් කළ සුවිශේෂී සිදුවීමක් විය. සිරිපා වන්දනා කොට ඉර සේවය නරඹන අවස්ථාවේදී පෙරවරු 6.20 ට පමණ පසුගාමී වූ කණ්ඩායම් පැමිණි අතර මුලින් පැමිණි අයගේ කවටකම් සහිත සිනහවට ලක්වන්නට ද ඔවුන්ට සිදු විය. මන්ත්‍රී කණ්ඩායම ඇතුළු පිරිස ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් හමු වූ අතර රටේ තරුණයින්ට ආදර්ශයක් වෙමින් විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිරිපා වන්දනා කිරීම උන්වහන්සේගේ ප්‍රසාදයට ලක්වූහ. 

ආහාර පානයෙන් ද සංග්‍රහ ලැබු පිරිස සිරිපා මළුව හා අවට සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළ අතර ඉදිරියේ දී විශ්‍රාම ශාලා හා පියගැට පෙළ නවීකරණය කරමින් ශ්‍රීපාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලැසීමට කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැසීය. විශේෂයෙන් සිරිපා ගමන්මඟ ආශි‍්‍රත ප්‍රදේශයේ පිරිසිදුකම ආරක්ෂා කරගැනීමටත්, වැසිකිළි පහසුකම් සැපයීමටත් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට ද පොරොන්දු විය.

මීට පෙර ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් සිරිපා අඩවියේ පරිසර සුරැකීමේ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වූ අතර එම වැඩ සටහන් ද ශ්‍රීපාදස්ථානාධිපති නායක හිමියන්ගේ ප්‍රශංසාවට ලක් විය.

සිරිපා කඳු මුදුනේ දී පැමිණ සිටි වන්දනාකරුවන් විශේෂයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සමඟ ඡායාරූපවලට පෙනී සිටීමට වඩ වඩාත් උනන්දු වීම කැපී පෙනුණි. ගාල්ල, මාතර මෙන්ම හම්බන්තොටින් පැමිණි වන්දනා නඩ ද මන්ත්‍රී කණ්ඩායම සමඟ කතාබහට එක් වූහ. මේ ගමනේ දී විශේෂයෙන්ම අනාගත දේශපාලන කටයුතු මෙන්ම හම්බන්තොට සංවර්ධනයේ විවිධ වැඩ සටහන් ද යුද්ධය අවසන් වී තිබෙන නිසා ප්‍රමුඛතාවය ලබා දී කළ යුතු වැඩ සටහන් ආදි විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡාවන් ද සිදු කෙරිණි.

සිරිපා වන්දනා කොට ආපසු එන ගමනේ දී පිරිසක් රත්නපුර මාර්ගයෙන් ගමන් ගත් අතර තවත් පිරිසක් පහළට බැස්සේ නල්ලතන්නියටයි. පහළට ගමන් කිරීමේ දී නාමල්, යෝෂිත, රෝහිත කණ්ඩායම වඩාත් වේගවත් වූ අතර ඔවුන්ට යළි පැමිණෙන්නට ගත වූ කාලය පැය තුන හමාරකි. අනෙක් පිරිස පැය පහ හමාරක් හයක් පමණ කාලයක් ඒ සඳහා ගත කළහ. 

පිරිසට දිවා ආහාරය සැකසුණේ රත්නපුර නගරයේ නිවසකය. ගමනේ වෙහෙසකර බව නිසා පියගැට පෙළක් දකින්නට අකැමැති වූ ඇතැම් අය නිවසේ උඩු මහලට නැඟීම පවා ප්‍රතික්ෂේප කළ බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ සිනාසෙමිනි. කනක හේරත් මන්ත්‍රීතුමා පැවසුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ යෝජනාවකට අනුව සංවිධානය වුණු සිරිපා ගමන තමන්ට බොහෝ අත්දැකීම් ලබාදුන් බවත් විශේෂයෙන් ඉදිරි සංවර්ධන කටයුතු ගැන කළ කතාබහ වඩාත් ප්‍රයෝජනවත් වූ බවත් ය. 

තරුණ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක ගේ දායකත්වයෙන් සංවිධානය වූ මේ සිරිපා සංචාරය විශේෂයෙන් රටේ තරුණ පරපුරට මහඟු ආදර්ශයක් වන්නේ ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all