Photobucket

Sunday, January 6, 2013

මුහුදු ගුහාවක තනිවී

මැතිව් හා රීස් අවුරුදු 13 ක හා 14 ක කොලු ගැටවු දෙන්නෙක්. මැතිව්ගේ මල්ලි ආරන්ට වයස අවුරුදු 11 යි. මේ තුන්දෙනා අයර්ලන්තයේ කාසල් රොක් වෙරළේ ඇවිදින්නට ගියා.

‘ඒයි වෙරළෙ එහා පැත්තෙ ගුහාවක් තියෙනවා. අපි යමුද බලන්න. හරියටම මේ කන්ද යට’ ඒ අදහස මැතිව්ගේය.

“හරි යමු” රීස් එකඟ වුණා.

මිතුරන් දෙදෙනා කන්ද පහළට බැස වෙරළ දෙසින් ගුහාවට ඇතුළු වුණා. එතකොට වේලාව හවස හතරයි. වතුර තිබුණේ ඔවුන්ගේ දෙපා වළලුකර හරියට. මුහුද දෙසින් කන්ද ඇතුළට ඇති ගුහාව මීටර 24 ක් පමණ ගැඹුරුයි. උස මීටර් 9 ක් විතර. ගුහා කටින් ඇතුළු වූ ඔවුන් එහි චමත්කාරයෙන් මත් වුණා.

“අපි ඇතුළට යමු නේද?” මැතිව්ගේ ඒ යෝජනාවත් ස්ථිර වුණා. ගුහාව ඇතුළත හරියටම බල්ලෙකුගේ ඉදිරිපස පාදයක් වගේ.

ගුහාව ඇතුළට ගොස් එය නරඹද්දි ක්‍රමයෙන් වඩදිය වැඩි වන බව දැනුණත් ඔවුන් එය ගණන් ගත්තේ නැහැ.

හෝරාවක් පමණ සහෝදරයා සහ මිතුරා එනතුරු බලා සිටි ආරන් ගෙදර දිව ගියා.
“කෝ අයියයි යාළුවයි දෙන්නා” ඒ ඇසුවේ මැතිව්ගේ මව පැමලා.

“වෙරළේ ගුහාව බලන්න ගියා. තාම ආවෙ නැහැ”
තත්ත්වය බරපතළ බව වටහාගත් පැමලා එක්වරම වෙරළාරක්ෂක සේවයට ඇමතුමක් ගත්තා.

ගම්මානයේ වෙරළාරක්ෂක කණ්ඩායම් නායකයා ඇන්තනි එවේලේ සිටියේ සිය පුතුගේ රාත්‍රී ආහාරය පිළියෙල කරමින්. සියල්ල පසෙකලා ඔහු වහා වෙරළට අවුත් ඩිංගි බෝට්ටුව සූදානම් කරගත්තා.

ඔහු මුලින්ම කළේ කඹයක් ආධාරයෙන් කඳු නගින්නෙකු කඳු පාමුලට බැස්සවීමයි.

වඩදිය කෙමෙන් වැඩි වන නිසා දරුවන් ද සිටියේ බියෙන්. කඳු නගින්නා කඹයේ එල්ලි සිටිමින්ම ගුහාව ඇතුළත බැලුවා. ගුහාව තුළ සිටින දරුවන් ඔහුට දකින්නට ලැබුණා.
“කලබල නැතුව ඔහොම ඉන්න. ඔයාලා බේරගන්න අපි එනවා.”

ඔවුන්ට කෑගසා කී ඔහු ඉහළට ආවා.
කන්දෙන් බැස්ස කඳු නඟින්නා පුවත වෙරළාරක්ෂක කණ්ඩායම් ප්‍රධානියා ඇන්තනීට කීවා. පුවත පළාතේ ජීවිතාරක්ෂක කණ්ඩායම් වෙත ගියේ සැණෙකින්.

ඇන්තනීට තත්ත්වයේ භයානකකම වැටහුණේ ඔහු මුහුද ගැන හොඳින් දන්නා නිසයි. රාත්‍රිය වන විට වඩදිය නිසා මුහුදේ ජල මට්ටම ඉහළට යනවා. සුළඟ ශීතල වෙනවා. ජලයත් උහුළන්නට බැරිතරම් ශීතලයි. වඩදිය වැඩි වන වේගය අනුව රාත්‍රී 7 වන විට දරුවන්ගේ හිසට ඉහළින් වඩදිය ගලන්නට පුළුවන්. ඒනිසා ඉතා දක්ෂ කණ්ඩායමක් සමඟ බෝට්ටු දෙකකින් ඒ දෙසට යන්නට ඔහු අණ දුන්නේ තමා ද ජීවිතාරක්ෂක කබා ද රැගෙන එක් බෝට්ටුවකට නැඟෙමින්.

ඇන්තනී රැගත් ඩිංගිය පැදවූයේ පළපුරුදු බෝට්ටු පදවන්නෙකු වන ජෙරාඩ්. ඔහු මුහුද දෙසින් ගුහාවේ කට දෙසට සිය බෝට්ටුව පැදවූවා. එහෙත් මුහුදු රළ හරිම චණ්ඩයි. බෝට්ටුව ගුහාවේ කටින් ඇතුළට යා යුතු වෙනවා. දරුවන් බේරා ගැනීමේ මුළු සැලැස්ම ඇත්තේ ඇන්තනී අතයි. ජෙරාඩ් ඉතා අමාරුවෙන් මීටර් තුනක් වූ පුංචි ගුහා කටින් බෝට්ටුව ගැනීමට දැරු වෑයම සාර්ථක වුණේ නැහැ. කළ යුතු එකම දෙය වන්නේ මුහුදේ ශීතල වතුරට බැස බෝට්ටුව ද ඇදගෙන පිහිනීමයි.

ජෙරාඩ් ගත් තැත ව්‍යාර්ථ වූ විට මුහුදට පැන පිහිනීමේ කටයුත්ත බාර කළේ ඩිංගි බෝට්ටුවේ සිටි දක්ෂ පිහිනුම්කරුවකු වන 21 හැවිරිදි කාල් ඕ නීල්ටයි. ඔහු ඩිංගියේ ආරක්ෂිත කඹය ද ගෙන මුහුදේ ශීතල වතුරට පැන පීනන්නට වුණා. දැන් වේලාව සවස 6 යි. කළුවර වැටීගෙන එනවා. කාල්ටන් චණ්ඩ මුහුදු රළ අතරින් පිහිනන්නට අමාරුයි.

කාල් හුණු ගල් පරය දෙසට පීනා ගියත් සැඩ මුහුදු රළ ඔරොත්තු නොදෙන තරම්. ජෙරාඩ් වහා ඔහු යළි ඩිංගිය වෙත ඇදගත්තේ ඔහු ඉණේ බැඳි කඹයෙන්.

වීරකමට ගුහාව බලන්නට ගිය යෞවනයන් දෙන්නා දැන් ඉන්නේ සිය ඉණ තරමට දියෙහි ගිලෙමින්. වඩදිය එන්න එන්නම වැඩියි. ශීතල ද ඔරොත්තු නොදෙන තරමට වැඩි වෙනවා. මුළු රෑම ගුහාවේ ඉන්නට වෙතැයි ඔවුන් දැන් බියෙන් ඉන්නවා. වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහය දක්වා පහළට බැහැලා. තව ටිකකින් ශීතල වැඩිවී hypothermia රෝගයට ගොදුරු වන්නට පුළුවන් බවත් ඔවුන් දන්නවා.
මේ අතර ජීවිතාරක්ෂක බෝට්ටුවේ සිට ඇන්තනී කළ යුතු දේ ගැන හිතමින් ඉන්නවා. ඔහු රාජකීය ජාතික ජීවිතාරක්ෂක ආයතනයේ වසර 31 ක් සේවය කොට අත්දැකීම් ඇත්තෙක්.

ඇන්තනීගේ සැලැස්ම වූයේ මේ දඟකාර කොල්ලන් දෙදෙනා එකිනෙකා වෙන වෙනම බෝට්ටුවට ගන්නයි.

ඔහු අතිරේක හෙල්මටය සහ ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලය කිහිල්ල ගසාගෙන ශීතල වතුරට පැන්නේ ඒ අරමුණ හිතේ ඇතිවයි. එහෙත් ඔහුගේ සගයා ජෙරාඩ් ඒ ගැන නොසන්සුන් වුණා. ඇන්තනී පීනාගෙන යද්දි සැඩ දිය පහරකට හසුවූ ඔහු ගොස් වේගයෙන් හුණුගල් පව්වේ හැපුණා.

ඉතා අමාරුවෙන් විනාඩි පහකින් ඔහුට ‘බලු අඩිය’ නම් වූ ගුහාවට ඇතුළුවීමට හැකිවුණා. වතුරේ ශීතල උසුලාගෙන ඔහු කල්පනා කළේ මේ කොල්ලන්ට කොහොම ශීතල දැනෙනු ඇත්දැයි කියලයි. ඔහු ගුහාවේ බිත්තිය අල්ලාගෙන එයට ඇතුළු වී වටපිට බැලුවා.

ගුහාව කෙළවරේ ඡායාවන් දෙකක් පෙනුණා. මොහොතකින් ගලා ආ දිය වැලකින් ඒ ඡායාවන් යළිත් නොපෙනී ගියා. දියවැලෙන් උඩට ආ ඔහු සාගර පෙණපිඬු අතරින් උස් වී බැලුවා. හෙමින් හෙමින් අමාරුවෙන් ඔවුන් ඉන්නා දෙසට ඔහු පීනුවා.
කොල්ලන් දෙදෙනාම ඔහුගේ රුව දුටුවේ එවිටයි.

තවත් පිහිනුම් පහර දෙක තුනකින් ඔහු කොල්ලන් දෙදෙනා ළඟ.
“හරි හරි කොල්ලනේ බයවෙන්න එපා.” ඔහු දෙදෙනාගේම හිස අතගා කිව්වා.
ඇන්තනී මුලින්ම මැතිව්ස් බේරා ගැනීමට තීරණය කළා.
ඔවුන් කාටත් නොදැනීම මේ අතරේ ස්කයි නිව්ස් ආයතනය ප්‍රධාන මාධ්‍යකරුවො සිය කැමරා ද රැගෙන මේ බේරාගැනීම වාර්තා කරන්නට සැරසී සිටියා.
මැතිව් ශීතලේ ගැහෙන්නට ගත්තා. ඇන්තනී තමා ගෙනා හෙල්මටය හා ජීවිතාරක්ෂක ඇඳුම මැතිව්ට පැලඳුවා.

“දැන් ඔයා උඩු අතට හැරිලා දෙපා ගසමින් මාත් සමඟ පීනන්න.” ඇන්තනී ඔහුට උපදෙස් දුන්නා.
රීස්ට එතැනම ඉන්නැයි කී ඇන්තනී දියේ උඩු අතට හැරි පීනන්නට වූයේ මැතිව් ද ඇදගෙනය.
ගුහාවේ මුවදොරින් වේගයෙන් ඇතුළට එන රළ පහරට එරෙහිව ඉදිරියට පීනන්නට ඇන්තනීට දැඩි වෙහෙසක් ගන්නට සිදුවුණා.

මැතිව් ද ඇන්තනීට අනගි සහායක් වෙමින් පීනන්නට වුණා. ඒත් වරක ඔහු බියට පත්වුණේ එකවරම හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනුණු නිසයි. ගුහාවේ කටින් පිටතට එද්දීම කඳු නඟින ශිල්පියා කඹයක් පහතට දමා තිබුණා.

එහෙත් සැඩ රළ පහරට හෙල්ලෙමින් සිටින ඇන්තනීට මැතිව්ස් කඹයට සවිකළ නොහැකියි. එහිදී යම් වරදක් සිදුවුවහොත් ඔහු එයින් වැටී මරණයට පත්වන්නට පුළුවන් බව ඇන්තනී දැනගෙන සිටියා.

තමාට එය කළ නොහැකි බව සිතූ ඇන්තනී තමාගේම සැලසුම අනුව මැතිව්ස් ඩිංගිය වෙත ගෙන යන්නට තීරණය කළා. ඩිංගියේ සිටි අනෙක් අය ඔවුන්ට කඹයක් වීසිකළා. කඹය අල්ලාගත් ඇන්තනී මැතිව්ස් සමඟ ප්‍රධාන ඩිංගි බෝට්ටුව වෙත ළඟාවුණා.

මැතිව්ස් සිය සගයන්ට බාර කළ ඇන්තනීගේ ඊළඟ කටයුත්ත වූයේ රීස් බේරා ගැනීමය. තවත් ජීවිතාරක්ෂක ඇඳුමක් හා හෙල්මටයක් රැගත් ඇන්තනී යළිත් මුහුදට බැස්සේ තත්පරයක්වත් අපතේ නොයවා.

ජෙරාඩ්ගේ මීළඟ පියවර වූයේ මැතිව්ස් වහා ගොඩබිමට යවා රෝහලට ගෙන යාමයි. ඔහු ඒ යුතුකම ඉටුකරද්දි ඇන්තනී රීස් වෙත ළඟාවුණා.

දැන් ඇන්තනීට මහන්සියි. කොතරම් පළපුරුදු පිහිනුම් ශූරයකු වුවත් ඔහුටත් හරිම අමාරුයි. වමනය කරන්නට අවශ්‍ය වූ ඔහු රීස්ට නොපෙනෙන්නට ගල් කුළකට මුවා වී වමනය කළා.

ඇන්තනී රීස්වත් මැතිව්ස් මෙන් ආරක්ෂක ඇඳුම් අන්දවා ප්‍රධාන බෝට්ටුව වෙත ගෙනාවා.

බොහෝ වේලා දියේ සිටි රීස් පමණක් නොවෙයි ඇන්තනීගේ ද ශරීරයේ උෂ්ණත්වය අඩුවීමට ලක්වෙලා. කොහොම වුණත් මේ වන විට මුහුද ඔවුන්ට අනුකම්පාවෙන් මෙන් සිය සැඬ වේගය අඩු කරලා. මඳක් සන්සුන් වෙලා.

වෙරළාරක්ෂක සේවයේ හෙලිකොප්ටරයක් මඟින් මැතිව්ස් හා රීස් දෙදෙනාම රෝහලට ගෙන ගියා. දොස්තරවරුන්ගේ මතය වුණේ තවත් විනාඩි දහයක් ශීතල වතුරේ සිටියානම් ඔවුන් මියයන්නට තිබුණු බවයි.

කෙසේ හෝ පසුවදාම රෝහලෙන් පිටවූ මැතිව්ස් සහ රීස් සිය මවුපියන් සමඟ කෙළින්ම ආවේ ඇන්තනී ප්‍රධාන කණ්ඩායම වෙතයි. සිය පුතුන්ගේ ජීවිත බේරාගැනීම ගැන ඔවුන්ට ස්තුති කළ මවුපියන්ට ඇන්තනී සිනාසී කීයේ “ඔහොම තමයි කොල්ලන්ගෙ දඟකාරකම්. තව ටිකකින් සෙල්ලම ලෙල්ලම වෙන්න තිබුණේ” යනුවෙනි.

ඇන්තනීටත් ජෙරල්ඩ්ටත් කාල් ඕ නීල්ටත් ලන්ඩනයේ පැවැති උත්සවයකදී සම්මාන පිදුවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all