Photobucket

Tuesday, January 8, 2013

අපට මර්වින් එපා... කැලණිය මර්වින්ගෙන් බේරා දෙන්න - ජනාධිපතිගෙන් ඉල්ලයි...

ජනාධිපතිතුමනි, කැලණියට මර්වින් සිල්වා එපා... 

මර්වින් සිල්වා කැලණියෙන් ඉවත් කර කැලණිය බේරා දෙන්න...
යෑයි සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට රැස්‌ව සිටි ප්‍රදේශවාසීහු හඬා වැළපෙමින් එසේ පැවසුවා.

(7 දා) දහවල් ජනාධිපතිවරයා හසිත මඩවල මහතාගේ නිවසට පැමිණි අවස්‌ථාවේ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කණ්‌ඩායමෙන් ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්‌ ද භාර දුන්නා. 

අවසන් ගෞරව දක්‌වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවසින් පිටවීමට පැමිණි අවස්‌ථාවේ අවට රැස්‌ව සිටි ජනතාව විශාල පිරිසක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හඬා වැළපෙමින් ආයාචනයක්‌ කලා.

රැස්‌ව සිටි ජනතාව අතරට ජනාධිපතිවරයා පැමිණි අවස්‌ථාවේ ජනතාව ඔහු ඉදිරියේ වැඳ වැටී "අපට මර්වින් සිල්වා එපා. කැලණිය මර්වින් සිල්වාගෙන් බේරා දෙන්නැ" යි කියමින් හඬ නැගුවා.

ජනතාවගේ ඉල්ලීමට සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ පිළිබඳව පියවර ගන්නා බව පවසමින් එම ස්‌ථානයෙන් නික්‌ම ගියා.

එහෙත් ගැටලුවකි..? ඒ ගිනි අවිය හසිත මඩවල මහතා ඉලක්‌ක කර පත්තු වී ගියේ කාගේ වුවමනාවටද? ඒ පසුපස සිටින්නේ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කියන පුද්ගලයාද? එසේත් නැතහොත්
කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සහ ඉහත ඇමැතිවරයා අතර තිබූ විරසකය හමුවේ යම් කිසිවකු බොරදියේ මාලු බෑවේද?

ගහ ගැනීම්, බැණ ගැනීම් සහ අවලාද නැගීම් සමග කලක්‌ අලුයට තිබූ කැලණියේ ගිනි දැන් යළිත් ඇවිලෙන්නට පටන්ගෙන තිබේ. ඒ ඉකුත් සෙනසුරාදා රැයේ කැලණිය ප්‍රදේශීය සභා මන්ත්‍රි හසිත මඩවල මහතා නාඳුනන තුවක්‌කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමගිනි.

ඝාතනයට ලක්‌වූ හසිත මඩවල යනු කවරෙක්‌ද? හේ කැලණියේ උපන් කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍යමහා විදුහලින් අධ්‍යාපනය හදාරා පසු කලෙක තම උපන් ගමේ දේශපාලන කරලිය තුළින් කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු වීම දක්‌වා පැමිණි තරුණ දේශපාලනඥයෙකි.

එසේ පැමිණි ගමන හමුවේ ගමේ දේශපාලනයේ කැපී පෙනන චරිතයක්‌ ලෙස ඉස්‌මතු වුවද මේ හසිත මඩවල යන නාමය ඉකුත් කාලයේ කැලණියේත් ඇතැම්විට රට පුරා දේශපාලනයට උනන්දුවක්‌ දක්‌වන යම් යම් පිරිස්‌ අතරේත් ප්‍රකට වීම සඳහා බලපෑ තවත් ප්‍රබල හේතුවක්‌ද තිබිණි.

ආණ්‌ඩු පක්‍ෂයේ කැලණිය ආසන සංවිධයකවරයා ලෙසින් මීට වසර කිහිපයකට පෙර කැලණියට පැමිණි මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් දොළොස්‌ දෙනකු කලක පටන් ගෙනයන ක්‍රියාදාමයේ දැවැන්ත චරිතයක්‌ ලෙස හසිත මඩවල මහතා කැපී පෙනෙන අන්දමින් කටයුතු කිරීම එකී හේතුව විය.

නමුත් එය එසේ වුවද එදා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියට පැමිණෙද්දී දොහොත් මුදුන් දී ඇමැතිවරයා පිළිගෙන ඔහුවටා රොදබැඳගත් කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති හා පිරිස අතරේද හසිත මඩවල මහතා සිටියේ ඉහත පරිදිම පෙරමුණේ බව කිවයුතුය.

එසේ වූ මිතුරුදම විරසකයක්‌ වූ තැනදී හසිත මඩවල මහතා මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණිය තුළ කරන දැ පිළිබඳ දැඩිව සිදු කළ ප්‍රසිද්ධ විවේචනද රාශියක්‌ විය. වරක්‌ ඔහුට එසේ ඇමැතිවරයාගේ කටයුතු විවේචනය කිරීමක්‌ හමුවේ ඇති වූ සිද්ධියක්‌ හේතුවෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව දෙදිනක්‌ පමණ රක්‍ෂිත බන්ධනාගාරගත වන්නටද සිදු විය.

අප පෙරකී කැලණියේ ගිනි අලුයට තිබුණේ එසේය. එනිසාමදො හසිත මඩවල මහතා ඝාතනය කෙරුණු ඉකුත් සෙනසුරාදා රැයේ ඒ මහතාගේ නිවස අසළට රැස්‌වූ දහසක්‌ පමණ වන කැලණියේ ජනතාව එක හඬින් පවසන්නට වූයේ කුමක්‌ද?

".... ඇමැති අපිට එපා.. හසිත මැරුව අයට දඬුවම් දෙන්න.. යනුවෙන් එකී ජනතා හඬ එදින් රැයේ හසිත මඩවල මහතා පදිංචිව සිටි සහ ඔහු ඝාතනයට ලක්‌ කෙරුණු කැලණිය නුංගොමුගොඩ ප්‍රදේශය පුරා රැව් දෙන්නට වූයේ එලෙසින්ය.

එහිදී රැස්‌වූ ජනතාව වෙතින් පරීක්‍ෂණ සඳහා පැමිණි පොලිසිය වෙතද එල්ල වූයේ දැඩි විරෝධයකි.

තමන්ට මරණීය තර්ජන එල්ල වී තිබෙන බවට හසිත මඩවල මහතා ඇතුළු ඇමැති මර්වින් මහතාට එරෙහිව සිටි කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා සහ සෙසු මන්ත්‍රිවරුන් අවස්‌ථා කිහිපයකදීම පොලිසියට පැමිණිලි කර ආරක්‍ෂව ඉල්ලා තිබියදීත් මඩවල මහතා නාඳුනන තුවක්‌කුකරුවකුගේ ඉලක්‌කයක්‌ වීම මෙන්ම සිද්ධියෙන් පසු අපරාධ ස්‌ථානයට ළඟා වීම සඳහා කැලණිය පොලිසියට විනාඩි 45 පමණ කාලයක්‌ ගතවීමද එකී විරෝධයට ප්‍රබල හේතු වී තිබිණි.

එහිදී වරෙක සිවිල් ඇඳුමින් සැරසී අපරාධ ස්‌ථානය වෙත පැමිණි එක්‌තරා උසස්‌ පොලිස්‌ නිධාරියකුට අමු තිත්ත වචනයෙන් සංග්‍රහ කිරීමටද හසිත මඩවල මහතාගේ ඝාතනයෙන් කම්පනයට පත්ව එම ස්‌ථානයට රැස්‌ව සිටි ඔහුගේ දේශපාලන ආධාරකරුවෝ පසුබට නොවූහ.

නැගුණු ජනතා විරෝධය එසේ වෙද්දී හසිත මඩවල මහතාගේ ඝාතනයත් සමග එම ස්‌ථානයට පැමිණි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සෙසු මන්ත්‍රිවරුන්ද එකහෙලා පවසන්නට වූයේ ප්‍රබල දේශපාලනඥයකු මෙම ඝාතනයේ වගකිව යුත්තා වන බවකි.

කලක පටන් ඉකුත් සෙනසුරාදා දක්‌වාම අලුයට සැඟව තිබූ කලණියේ ගින්න හසිත මඩවල මහතාගේ ඝාතනයත් සමග යළි ඇවිලෙන්නට වූයේ එලෙසිනි. එසේ නම් සියල්ලන් කියන පරිදි හසිත මඩවල මහතා ඝාතන සිද්ධියේ සැබෑ වගකිව යුත්තා ඒ ඇමැතිවරයාද?

ඊට පිළිතුර තිබෙනුයේ මේ වන විට එකී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ වී තිබෙන පොලිස්‌ විමර්ශන මත බැවින් එය මේ මොහොතේත් ප්‍රශ්නගත කරුණක්‌ බවට පත්ව තිබෙන්නකි.

නමුත් මඩවල ඝාතනයේ සත්‍යය තවමත් ප්‍රශ්නයක්‌ සේ සැඟවී තිබියදීත් සියල්ලට පෙර මෙසේ රජයේ ඇමැතිවරයකු වෙත ඇඟිලි දිගුවෙමින් තිබෙන්නේ ඇයි. ඒ තුළ ඇත්තේ එකී ඇමැතිවරයාගේම දේශපාලන භාවිතාවේ ප්‍රතිඵල නොවන්නේද?

ඇමැතිවරයා සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් අතර තිබූ විරසකයද අපූරු එකක්‌ විය. මුලින් ඇමැතිවරයා සමග අමනාප වූ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරුන් යළි ඔහු සමග හිතමිතුරෝ බවට පත්වූහ.

එහෙත් ටික කලකින්ම එකී මිතුරු බව පළුදු වී යළිත් ඇමැතිවරයාට එරෙහි විවිධ චෝදනා එල්ල කරමින් හඬ නගන්නට කැලණිය ප්‍රදේශීය සභා සභාපතිවරයා ඇතුළු ඇතැම් මන්ත්‍රිවරුන් කටයුතු කළේය. අවසානයේ එකී ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කමිටුවක්‌ වෙත දෙපාර්ශ්වයම කැඳවන තැන දක්‌වා දුරදිග ගියේය.

ඇමැතිවරයාත් කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් අතරත් පැවැති විරසකය අවසන් වරට අලුයට ගිනි බවට පත් වෙමින් නිවී ගියේ එකී සියලු සිදුවීම්වලින් පසුව විය. එහෙත් මේ සියල්ල හමුවේ අවසානයට සිදුවූයේ කුමක්‌ද? පැහැදිලිවම සිදු වූයේ දිනෙන් දින කැලණියේ දේශපාලනය ජරාජීර්ණ වීම විය.

හසිත මඩවල මහතාගේ ඝාතනයත් සමග මෙතෙක්‌ සැඟවී තිබූ කැලණියේ ගිනි යළි ඇවිලී යද්දී දැන් එකී ඝාතන වගකීම ඉහත ඇමැතිවරයා වෙත පැවරෙමින් මේ සිදු වෙමින් තිබෙන්නේ එසේ ජරාජීර්ණ වු කැලණියේ දේශපාලනය පාරාවළල්ලක්‌ වී තමා වෙතම ළඟා වීමක්‌ එම ඇමැතිවරයාම කල්පනා කළ යුතු වන්නේය.

සත්‍යවශයෙන් හොඳින් විමසා බැලුවහොත් හසිත මඩවල මහතාගේ ඝාතනයේ සත්‍යය තවමත් ගැටලුවක්‌ව තිබියදී ඇමැතිවරයකු වෙත එහි වගකීම පැවරෙමින් ඇඟිලි දිගු කෙරෙන තැනට කටයුතු සිදු වන්නේ ඉහත යථාර්ථය නිසාම නොවන්නේද?

ඒ කරුණු එසේ වෙද්දී ඉකුත් සෙනසුරාදා රැයේ හසිත මඩවල මහතා ඝාතනයට ලක්‌ කෙරෙමින් ඒ ගිනි අවිය පත්තු වී ගියේ කෙසේද? මඩවල මහතා කිසියම් කාර්යයක්‌ සඳහා ගොස්‌ මිතුරන් දෙදෙනකුද සමගින් මෝටර් රථයක නැගී කැලණිය නුංගොමුගොඩ බොන්වත්ත පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිටට පැමිණියේ රාත්‍රි 7.15 පමණ විය.

ඔවුන් පැමිණි මොටර් රථය මරුටි වර්ගයේ එකකි. එය මඩවල මහතා සමග පැමිණි මිතුරන් දෙදෙනාගෙන් එක්‌ අයකුට අයත් එකක්‌ බවද මේ වන විට අනාවරණය වී තිබේ. 

එසේ නිවස ආසන්නයට පැමිණි මන්ත්‍රිවරයා අවසානයේ පැමිණි මෝටර් රථයටම හේත්තු වී මිතුරන් දෙදෙනා සමග කතා බහක යෙදෙන්නට විය. එහෙත් ඒ ගෙවී යන්නේ සිය ජීවිතයේ අවසාන විනාඩි කිහිපය බව ඒ මොහොතේ හසිත මඩවල මහතාට නොසිතුනා විය යුතුය.

නමුත් මන්ත්‍රිවරයා සහ මිතුරන් දෙදෙනාට එසේ කතාබහ කරන්නට ලැබුණේ තවත් විනාඩි කිහිපයක්‌ පමණි. හිටි හැටියේ බොන්වත්ත පාර අභ්‍යන්තරයෙන් මතුවූ යතුරු පැදියක්‌ සැර දමා තමන් සිටින තැන පසු කර යන්නට එන අයුරු ඔවුන් දිටීය. කිසිවකුටත් කිසිත් සිතන්නට ඉඩක්‌ නොවීය.

එසේ පැමිණි යතුරු පැදිය මන්ත්‍රිවරයා හා මිතුරන් දෙදෙනා සිටි ස්‌ථානය පසුකර යනවාත් සමග එක්‌වරම රතිඤ් පුපුරන්නාක්‌ මෙන් හඬක්‌ මතු වූවේය. එසැණින් හසිත මඩවල මහතා බිම ඇද වැටුණේය. එකී ප්‍රහාරය එල්ල වී තිබුණේ එසේය. නමුත් එම වෙඩි තැබීමේ එක්‌ සුවිශේෂී බවක්‌ද තිබුණේය.
ඒ අන් කිසිවක්‌ නොව මන්ත්‍රිවරයා සහ මිතුරන් දෙදෙනා එක සමීපයේ සිට කතාබහ කරමින් සිටියදී මිතුරන් දෙදෙනාට සීරීමක්‌වත් නොවන සේ මන්ත්‍රීවරයාම පමණක්‌ ඉලක්‌ක කර ධාවනය වෙමින් තිබූ යතුරු පැදියේ සිට වෙඩි ප්‍රහාර තුනක්‌ හසිත මඩවල මහතාට එල්ල කිරීමට වෙඩික්‌කරුවා ශූරයකු වී තිබීමය. 

සැබැවින්ම එකී සිදුවීමේ හැටියට ඝාතකයා පළපුරුදු ඉලක්‌ක වෙඩික්‌කරුවකු බව අමුතුවෙන් කිවයුතු නොවන්නේය.

එකී ඝාතකයා කවරෙක්‌ද? ඒ නරුමයා ගම්පහ ප්‍රදේශයේ නමගිය පාතාලයකු බව දැනට පොලිසිය හා බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත්තේය. එසේම ඔහු කුලී ඝාතකයකු ලෙසද කියෑවෙමින් ඇත්තේය. ඔහුට ප්‍රබල දේශපාලනඥයකුගේ රැකවරණ ලැබී තිබුණු බවද තවත් පැත්තකින් කියෑවෙන්නේය.

එසේ නම් මෙකී පාතාල කුලී ඝාතනකයා අත තිබූ ඒ ගිනි අවිය හසිත මඩවල මහතා ඉලක්‌ක කර පත්තු වී ගියේ කාගේ වුවමනාවටද? ඒ පසුපස සිටින්නේ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කියන පුද්ගලයාද? එසේත් නැතහොත් කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සහ ඉහත ඇමැතිවරයා අතර තිබූ විරසකය හමුවේ යම් කිසිවකු බොරදියේ මාලු බෑවේද?

අද දිනයේ කැලණිය ප්‍රදේශීය සභා මන්ත්‍රි හසිත මඩවල මහතාගේ ඝාතනය හමුවේ මතුවී තිබෙන එකී බරපතල ගැටලුවට නිසි පිළිතුර සොයාගැනීම පොලිසිය ඇතුළු රජයේ සියලු බලධාරින්ගේ වගකීම බව බුදුන් පා තැබූ කැලණියේ යහපත පිණිසම අවසන් වශයෙන් සටහන් කළ යුතුව ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all