ගංවතුරත් සමඟ ඇතැම් ප්‍රදේශවල මී උණ හෙවත් ලෙප්ටොස්ෆයිරෝසිස් රෝගය ව්‍යාප්ත
විමේ අවදානමක් පවතින බැවින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නැයි වසංගත රෝග
විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගංවතුර තත්ත්වය නිසා මී උණ රෝගය බහුල වශයෙන් වාර්තා වීමේ අවදානමක් ඇතිවිය
හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රධාන
වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි. මේ වනවිටත්
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් සතියක් ඇතුළත මී උණ රෝගයට ගොදුරු වූ රෝගීන්
10දෙනකු වාර්තාවී තිබේ.
මේ රෝගය මීයන් හා වෙනත් සතුන්ගේ මුත්‍රා ආශ්‍රිතව වෙසෙන බැක්ටීරියාවක් නිසා
බෝවිය හැකි රෝගයකි. රෝගකාරක ලෙප්ටොස්පිරා නමැති බැක්ටීරියාව මීයන් හා
ගවයන්ගේ මුත්‍රා මඟින් ජලයට එක්වීම නිසා මිනිසුන්ට රෝගය ආසාදනය වේ.
විශේෂයෙන් ම මේ බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල
මෙන්ම ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මඟිනි.
කුඹුරු, ඇළ වේලි, පතල් ආශ්‍රිත රැකියා කරන පුද්ගලයන් මේ රෝගයට ගොදුරු වීමට තිබෙන
ඉඩකඩ බෙහෙවින් වැඩි බව වෛද්‍ය පළිහවඩන මහත්මිය පවසයි. කුඹුරුවල නියරවල
ගුල් සාදාගෙන ජීවත් වන මීයෝ අප රටේ ලෙප්ටොස්ෆයිරෝසිස් රෝගය බෝකරන ප්‍රධාන
වාහකයෝ වෙති.
මේ නිසා වගා කිරීමට කුඹුරුවලට බැසීමට පෙර තමන්ගේ පාදවල තුවාල තිබේ නම් ඒ සඳහා
කිසියම් විකල්පයක් යොදා ගත යුතුය. ඇතැම්විට ගොවියන් වගා කටයුතුවල යෙදී
සිටියදී වක්කඩවල තිබෙන ජලය පානය කිරීමට පෙළඹෙන නිසා එම ජලයේ බැක්ටීරියාව
තිබේ නම් මුඛයේ ශ්ලේෂ්මල පටලය මඟින් බැක්ටීරියාව සිරුරට ඇතුළු වීමට ඉඩ තිබේ.
මෙම රෝග කාරක බැක්ටීරියාවට ජලයෙහි වේගයෙන් ගමන් කිරීමට හැකිවීම
විශේෂත්වයකි.
මී උණ රෝගයෙන් වැළකීම සඳහා ප්‍රතිකාරයක් වශයෙන් ඩොක්සිසයික්ලින් (Doxycycline)
නමැති ප්‍රතිජීවක ඖෂධය භාවිතා කළ හැකිය. රෝගයට ගොදුරු වීමේ අවදානමක් සහිත
පුද්ගලයන්ට මේ ඖෂධය නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙකී ඖෂධය සතියකට වරක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හෝ මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන්ගෙන් ලබා ගත හැකිය. මේ වනවිට එකී ඖෂධ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලවලට ලබා දී තිබේ.
රෝගයට ගොදුරුවූ පුද්ගලයන්ගෙන් සියයට 80ක් ම මේ ඖෂධය ලබා ගෙන නොමැති බව
තහවුරුවී තිබේ. ගොවිතැන් පටන් ගන්නා දිනට පෙර මේ ඖෂධයේ පෙති දෙකක් භාවිතා කරන
ලෙසත් ඉන් පසු හොඳින් ජලය පානය කරන ලෙසත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකාව
ජනතාවට දැනුම් දෙයි.
කුඹුරු වැඩ කරන පුද්ගලයන්, ඇළ වේලි හා පතල් ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන්
අවදානම් කණ්ඩායම් ලෙස සැළකේ.
මොවුන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ගොස් මෙකී ඖෂධ නොමිලේ ලබා ගන්නා ලෙසත්,
එසේම නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් මෙවැනි රෝගවලින්
සිදුවිය හැකි ජීවිත හානි අවම කර ගැනීමට හැකි බවත් එම අංශය අවධාරණය කරයි.
අධික උණ, ඇස් රතු පැහැවීම, තදබල හිසේ කැක්කුම, මස්පිඩු වේදනාව හා වමනය මී උණ
රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ. මෙවැනි රෝග ලක්ෂණ ඇතිනම් එමෙන්ම රෝග අවදානම සහිත
රැකියා කරන පුද්ගලයකු නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
එමෙන්ම කොහිල වළවල්වල කොහිල කැපීමට යාම, ජලය රැස්ව තිබෙන කුඩා වළවල්වල මසුන්
මැරීමට යාම, ජලය සහිත පුරන් වූ කුඹුරු හා වගුරු බිම්වල හරකුන්, එළුවන් වැනි
සතුන් බැඳීමට යාම, කුඹුරුවල සරුංගල් යැවීම යනාදියෙහි යෙදුණු පුද්ගලයන්ට ද
මී උණ වැළඳුණු අවස්ථා දක්නට ලැබෙන බව පවසන වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය
රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වීමට හැකි සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කොට
රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කරයි.
2011 වසරේ මී උණ රෝගීන් 6000ක් පමණ වාර්තා වූ බවත්, 2012 වසරේ 2600ක් වාර්තා වූ
බවත් පවසන වෛද්‍යවරිය 2012 වසරේ රෝගීන් සංඛ්‍යාවේ අවමවීමක් පෙන්නුම් කරන බවත්
පවසයි.
මේ රෝගය නිසා 2012 වසරේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 48කි. 2012 වසරේ වැඩි
වශයෙන් රෝගීන් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර
දිස්ත්‍රික්ක තුනෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී තිබේ. කෑගල්ල, කුරුණෑගල,
රත්නපුර, මාතර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවලින් ද වැඩිපුර රෝගීන් වාර්තාවී තිබේ.
0 comments:
Post a Comment