විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයෙක් සහ ඒ මහතාගේ දියණිය ඔවුන්ට අයත්
රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් ඉඩමක් රණවිරුවන් වෙත ඊයේ (04)
පරිත්‍යාග කළහ.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ
පැවැති උත්සවයක දී එම පරිත්‍යාගය සිදු විය.
පිටකෝට්ටේ ආනන්ද බාලිකා පාරේ පදිංචි විශ්‍රාම ලත් සිවිල් ඉංජිනේරු ඩී. එම්. එස්.
විජයසිංහ මහතාට අයත් අත්තනගල්ල ඌරාපොල මීවිටිගම්මන ඉඹුල්ගොඩවත්ත පිහිටි
පර්චස් 104 ක ඉඩම මෙසේ රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කෙරිණි.
සන්නද්ධ හමුදා සහ පොලිස් සුබ සාධන අංශය හරහා රණවිරුවන් 9 දෙනකු වෙත එම ඉඩම බෙදා
දීමට පියවර ගෙන තිබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ වසර තිහක යුද්ධයේ නියැළී
මියගිය, ආබාධිත, දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන්, ඔවුන්ගේ දූ දරුවන් සහ
ඥාතීන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සුබ සාධන වැඩපිළිවෙළ රැසක්
ක්‍රියාත්මක වන බවයි.
එහිදී ඔවුන්ට නිවාස හා ඉඩම් ලබාදීම මූලික වන අතර පසුගිය වසර හත තුළ ඔවුන්
වෙනුවෙන් නිවාස පනස් දහසක් පරිත්‍යාග කර තිබේ.
රණවිරු අධිකාරිය, ත්‍රිවිධ හමුදා සුබ සාධන අංශ, ආරක්‍ෂක අමාත්‍යාංශ, ත්‍රිවිධ
හමුදා සහ පොලිස් සේවා වනිතා ඒකක මඟින් ද රණවිරුවන්ට ඉඩම් නිවාස ලබා දීමට කටයුතු
කර තිබෙන බව ද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.
අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද හිමි, නියෝජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න මහතා හා හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට
සහභාගි වූහ.
0 comments:
Post a Comment